Home » ගාල්ලෙන්-යාපනයෙන් දැවැන්ත ඉනිම්
එන්එස්එල් සිවුදින ක්‍රිකට්

ගාල්ලෙන්-යාපනයෙන් දැවැන්ත ඉනිම්

by sachintha
April 22, 2025 1:19 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ස්ථාන වෙන් කර ගැනීමේ තීරණාත්මක මූලික වටයේ අවසන් තරගවලදී දැවැන්ත ලකුණු පුවරු දෙකක් නිර්මාණය කිරීමට ගාල්ල සහ යාපනය කණ්ඩායම් සමත් විය.

ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ සිටින කොළඹ පිලට එරෙහිව දඹුල්ලේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 435ක් රැස් කිරීමට දෙවැනි ස්ථානයේ සිටින ගාල්ල කණ්ඩායම සමත් විය. ඊයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන කොළඹ පිල කඩුල්ලක් දැවී ලකුණු 85ක් රැස් කර සිටි අතර, ඔවුන් ගාලු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 350ක් පසුපසින් සිටී.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින දඹුලු පිලට එරෙහිව පල්ලෙකැලේ පැවැත්වෙන තරගයේදී ලකුණු 418ක් පළමු ඉනිම වෙනුවෙන් රැස් කරමින් මෙවර තරගාවලියේ පළමු ජය අත්කර ගැනීමේ බලාපොරොත්තුවක් තබා ගැනීමට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින යාපනය කණ්ඩායමට ඊයේ හැකිවිය. කෙසේ වෙතත් දිනය නිමා වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන දඹුලු පිල කඩුල්ලක් දැවී ලකුණු 54ක් රැස් කර සිටියේ කඩුලු 9ක් අතැතිව යාපනය පළමු ඉනිමට වඩා ලකුණු 364ක් පසුපසින් සිටිමිනි.

පළමු දිනයේදී ගාලු ඉනිම වෙනුවෙන් නොදැවී සිටි නායක රමේෂ් මෙන්ඩිස් (56) සිය ඉනිම ලකුණු 72ක් දක්වා ඉදිරියට ගෙන ගිය අතර, නිසල තාරක (76) සහ දිලුම් සුදීර (66) ද ඉනිම අර්ධ ශතක එක් කළහ. නිසල සහ දිලුම් 9 වැනි කඩුල්ලට ලකුණු 114ක සබඳතාවක් ගොඩනැඟීම දිනයේ කැපී පෙනෙන සිදුවීමක් විය.

දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා වූ කොළඹ පිලේ ධනංජය ලක්ෂාන් ලකුණු 99කට කඩුලු 5ක් බිඳ දැමූ අතර, එය ඔහුගේ තරග 62ක පළමු පෙළ තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස ද වාර්තා විය. ඔහු පසුගිය මස අවසානයේ ලකුණු 9කට කඩුලු 4ක් බිඳ දමමින් මින් පෙර හොඳම පන්දු යැවීම සටහන් කර තිබිණි.

තුන් ඉරියව් දස්කම් දක්වන ධනංජය ඊයේ දිනය නිමා වන විට කොළඹ පිල වෙනුවෙන් නොදැවී අර්ධ ශතකයක් (53) රැස් කර ගෙන සිටියේය.

මේ අතර දඹුල්ල සමඟ තරගයේදී දිනය ආරම්භ කරන විට නොදැවී සිටි ඇන්ජලෝ මැතිව්ස්ට (63) තවත් එක්කර ගත හැකි වූයේ එක් ලකුණක් පමණි. සාර්ථක පිතිහරඹයක නිරතවූ රවිඳු රසාන්ත ලකුණු 120කට දැවී ගිය අතර, නායක ජනිත් ලියනගේ සහ නිරෝෂන් දික්වැල්ල එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 126ක සබඳතාවක් ගොඩනැඟුවේ දෙදෙනාම අර්ධ ශතක රැස් කරමිනි. දික්වැල්ල පන්දු 64කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 70ක් සහ ජනිත් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 102කින් නොදැවී ලකුණු 79ක් රැස් කළහ. පන්දු යැවීමේදී දුලාජ් සමුදිත සහ අකිල ධනංජය කඩුලු 3 බැගින් දවා ගත්හ.

මේ තරග ද්විත්වයේ තෙවැනි දිනය අදයි.

ගාල්ල – කොළඹ

ගාලු පළමු ඉනිම – 435 (ඕවර 136.2) දිනේෂ් චන්දිමාල් 132, නිසල තාරක 76, රමේෂ් මෙන්ඩිස් 72, දිලුම් සුදීර නොදැවී 66 (ධනංජය ලක්ෂාන් 99/5)

කොළඹ පළමු ඉනිම – 85/1 (ඕවර 17.1) ධනංජය ලක්ෂාන් නොදැවී 53

යාපනය – දඹුල්ල

යාපනය පළමු ඉනිම – 418 (ඕවර 107) රවිඳු රසාන්ත 120, ජනිත් ලියනගේ නොදැවී 79, නිරෝෂන් දික්වැල්ල 70, ඇන්ජලෝ මැතිව්ස් 64 (දුලාජ් සමුදිත 88/3, අකිල ධනංජය 164/3)

දඹුලු පළමු ඉනිම – 54/1 (ඕවර 10)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT