Home » බුත්තල සංචාරක කලාපයක් කිරීමට පියවර

බුත්තල සංචාරක කලාපයක් කිරීමට පියවර

by sachintha
April 22, 2025 1:18 am 0 comment

ඇල්ල ප්‍රදේශයට පැමිණෙන විදේශ සංචාරකයින් බුත්තල හරහා යාල ජාතික වනෝද්‍යානයට කැඳවාගෙන ඒම සඳහා බුත්තල සංචාරක කලාපයක් කිරීමට පියවර ගෙන ඇත.

එම කටයුතු සොයා බැලීම සඳහා සංචාරක නියෝජ්‍ය ඇමැති රුවන් රණසිංහ මහතා පෙරේදා (20) බුත්තල යාල ප්‍රදේශවල සංචාරයක ද නිරත විය.

බුත්තල රජ මාවතේ ගල්ගේ ප්‍රදේශයෙන් යාල වනෝද්‍යානයට පිවිසුම් මාර්ගයක් ඇතිකොට මාලිගාවිල දේවාලමංකඩ ප්‍රදේශයෙන් පිටවී මාලිගාවිල, යුදඟනාව, හඳපානාගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනය ආදි ප්‍රදේශ නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව සලසාදීම මෙහි අරමුණයි.

තිස්සමහාරාම ප්‍රදේශයෙන් යාල වනෝද්‍යානයට විදේශිකයින් ඇතුළු වීමේදී පවතින තදබදය මෙම මාර්ගය ඉදිකිරීමෙන් පසු අවම වන බව නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. මෙම සංචාරක කලාපය ක්‍රියාත්මක කිරීමෙන් පසු සෘජු සහ වක්‍ර රැකියා අවස්ථාවන් රැසක් හිමිවන අතර සෆාරි ජීප් රථ සේවාවන් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.

යාල වනෝද්‍යානයට පිවිසීමේදී හමුවන කුඹුක්කන්ඔය හරහා පාලමක් ඉදිකිරීමටද නියමිතය.

ඊට අමතරව බුත්තල නගරයේ සිට හඳපානාගලට, පැල්වත්ත සීනි කර්මාන්තශාලාවට පිවිසෙන මාර්ග වැඩිදියුණු කිරීමට ද නියමිතය.

මෙම සංචාරයට එක්වූ මොනරාගල දිස්ත්‍රික් පා.ම. රුවන් විජේවීර ගුණරත්න මහතා පැවසුවේ නිතර සුළු වැස්සකට පවා යටවෙන බුත්තල නගරයේ වැසි ජලය බැසයාමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර නගරය පිරිසිදු ක්‍රමානුකූල පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් බවට පත්කරන බවයි. සංචාරක නියෝජ්‍ය ඇමැතිවරයා සමඟ මෙම සංචාරයට වනජීවී දෙපාර්තමේන්තුවේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද සහභාගි වූහ.

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT