Home » භික්ෂූන් වහන්සේ වෙත පරිහරණ භාණ්ඩ පරිත්‍යාගයක්

භික්ෂූන් වහන්සේ වෙත පරිහරණ භාණ්ඩ පරිත්‍යාගයක්

by sachintha
April 22, 2025 1:17 am 0 comment

ශාසනාල ගෞරවයකින් යුතුව දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පන්සල්වල වැඩවෙසෙන භික්ෂූන් වහන්සේ වෙත සිව්පසය හා පරිහරණ භාණ්ඩ පූජා කිරීම මහත් ඵල මහානිශංස ලබා දෙන උතුම් පින්කම් බව කොටිකාවත්ත ශ්‍රී විමලාරාමවාසී කිරින්දේ සිරි රේවත ස්වාමීන් වහන්සේ පැවසූහ.

එම හිමියෝ එසේ පවසා වදාළේ කොටිකාවත්ත ප්‍රදේශයේ වෙසෙන පරිත්‍යාගශීලින් පිරිසක් විසින් තම ධනය, ශ්‍රමය හා කාලය වැය කරමින් දිවයිනේ තිබෙන දුෂ්කර විහාරස්ථානවල ඉතාමත් දුකසේ කල් ගෙවන භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනය පිණිස නවීන පන්නයෙන් සකස් කරන ලද ඇඳ ඇතිරිලි තොගයක් බෙදා හැරීම සංකේතවත් කිරීම නිමිත්තෙන් කොටිකාවත්ත ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ පවත්වන ලද පින්කමට සහභාගිව කරන ලද අනුශාසනාවේදීය.

විහාරාධිපති කතරගම සීලානන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවති එම පූජෝත්සවය අමතා වදාළ රේවත හිමියෝ මෙසේද පැවසූහ.

“වත්මන් සමාජය දෙස බලන කල රටපුරා පවතින විවිධ අපරාධ දූෂණ ක්‍රියා සිදුවීමට හේතුව වී තිබෙන්නේ අපේ තරුණ පරපුර ආගමික වටපිටාවෙන් බැහැරව තම තමන්ගේ අභිමත අනුව දුරදිග නොසිතා නොබලා ඉක්මන් තීරණ ගැනීම මෙන්ම ආගමික සිද්ධස්ථාන හා පූජ්‍ය පක්ෂයේ අවවාද අනුශාසනා නොගෙන කටයුතු කිරීම බවද, මෙම සංවිධායක පිරිස කිසිදාකත් එසේ නොකොට තම අරමුණ ඉටුකර ගන්නා තුරාවටම විහාරස්ථානය හා මහා සඟරුවණේ අවවාද අනුශාසනා පරිදි බැඳී ක්‍රියා කිරීම මෙම කටයුත්ත සාර්ථකව නිමකරවා ගැනීමට හේතු වූ අතර එය අප රටේ වෙසෙන අනෙකුත් බෞද්ධ ජනතාවට හා වත්මන් තරුණ පරපුරට ද ආදර්ශයක් වන බව ද වදාළේය.”

මෙම පින්කමේ සංවිධායකත්වය දරන බිමල් ජයසූරිය මහතා, බෞද්ධ විහාරස්ථානවල පවතින අඩුපාඩුකම් අතර ඒවායේ නේවාසිකව වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේට පවතින විශාලම අඩුවක්ව ඇත්තේ ඇඳ ඇතිරිලි බව මා දැක තිබෙනවා, මේ නිසාම තමයි අමාරු කාර්යයක් වුවත් මෙම කටයුත්තට මූලිකව ඉදිරිපත්ව වැඩ ආරම්භ කරන්නට යෙදුණේ. මෙහි සාර්ථකත්වය මත මුළු රටේම දුෂ්කර විහාරස්ථානවලට මෙසේ ඇඳ ඇතිරිලි සකස්කර පූජා කිරීම අපගේ අරමුණයි. මේ සඳහා මූලිකවූ පිරිස අතර ගාමිණි රාජපක්ෂ, දයාවංශ ගමාරච්චි, භානුක ගමාරච්චි, භානුක ප්‍රබුද්ධ, රුවන් ලක්මාල් මහත්වරුන්ට මගේ විශේෂ ගෞරවය පුදකරනවා. එසේම මෙවැනි පින්කම්වලට අනුග්‍රහය දැක්වීමට කැමැත්තෙන් සිටින පින්වත් පරිත්‍යාගශීලින් වෙත් නම් එම අයටද අප හා එක්වන්නැයි යන ආරාධනය කරන බව ද හෙතෙම පැවසීය.

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති කේ.කේ.ටී.ඩී. කාරියවසම් මහතා හා කොටිකාවත්ත ග්‍රාම නිලධාරිනි බී.ජී.එස්. දමයන්ති මහත්මිය ද මෙහිදී අදහස් පල කළහ.

කොළොන්නාව සමූහ – ඒ. සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT