Home » මැදවච්චිය සතිපොළේ අක්‍රමිකතා රැසක්

මැදවච්චිය සතිපොළේ අක්‍රමිකතා රැසක්

-පාරිභෝගික ජනතාව කබලෙන් ලිපට

by sachintha
April 22, 2025 1:14 am 0 comment

මුදල් අරමුණු කරගනිමින් මැදවච්චිය සතිපොළේ රථවාහන අංගණය පවත්වාගෙන යාමට ටෙන්ඩර්කරුවන් විසින් මැර පිරිස් සහ ජාවාරම්කරුවන් යෙදීම හේතුවෙන් රථවාහන නවතා තැබීමේදී පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බව පාරිභෝගිකයන් පවසති.

56,000ට ආසන්න ජනතාවකගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මැදවච්චිය සතිපොළ මැදවච්චිය ප්‍රාදේශීය සභාව යටතේ ගැනුම්කරුවන්ට ලබා දී සෑම සිකුරාදා දිනකදීම පැවැත්වේ. එම පොළ භූමියේම රථ ගාලක් ද ස්ථාපිත කර ඇත. එම රථගාලේ නවතා තබන සෑම රථයක් සඳහාම නවතා තැබීමේ බිම් කුලියක් අය කිරීමටත් මෙම පිරිස් කටයුතු කර ඇත. නමුත් එහි යතුරුපැදි ඇතුළු අනිකුත් රථවාහන ගාල් කිරීමට ප්‍රමාණවත් ඉඩකඩක් නොමැති වීම මුල් කර ගනිමින් පොළෙහි ගැනුම්කරුවන් විසින් මේ වන විට ප්‍රධාන මාර්ගය දෙපස සහ වෙළෙඳසල් ඉදිරිපිට බලහත්කාරයෙන් තමන්ගේ භාරයට ගෙන බිම් බදු අයකරමින් තම මඩිය පුරවා ගැනීමේ කාර්යයේ නියැළේ.

මෙය සරල සිද්ධාන්තයක් ලෙස සිතුණ ද මෙහි ගැඹුරු භයානක යථාර්ථයක් ඇත.

මෙම ටෙන්ඩර්කරුවන් අහිංසක පාරිභෝගික ජනතාව බිය වද්දාගෙන ඇත. එදා වේල ගැටගහගන්න තුට්ටු දෙකක් රැගෙන යතුරුපැදියකින් පොළට පැමිණෙන පාරිභෝගිකයාගෙන් රුපියල් 50 හේ එළවළු පිඟානක් ගැනීමට ඇති අතේ ඇති මුදල බිම් කුලියට අය කර ගැනීමට මේ හිත් පිත් නොමැති ගැනුම්කරුවන් සමත්ව ඇත. එසේ මුදල් ලබා දීමට නොහැකි යතුරුපැදිවල ටයර්වලට කටුවලින් ඇන හුළං යැවීමට ද මෙම පිරිස් කටයුතු කරති.

එමෙන්ම රථගාලෙන් එපිට මුදල් නොගෙවා නවතා තිබෙන රථවාහනවල කොටස් ගැලවීමටද මෙම කණ්ඩායමේ ජාවාරම්කරුවන් සමත්ව ඇත. ඒ තුළින් ජනතාව බියට පත් කිරීමක් මෙම පිරිස සිදු කරයි. එහි දී තම වාහනයේ ආරක්ෂාව වෙනුවෙන් එළවළු මල්ල ගැනීමට ඇති රුපියල් 50–30 මෙම ජාවාරම්කරුවන්ට බිම් කුලී ලෙස ලබා දීමට පාරිභෝගික ජනතාව කටයුතු කරයි. තවත් ප‍ෙසකින් කැබිතිගොල්ලෑව හයිවේ ට්‍රැෆික් සහ මැදවච්චිය රථවාහන පොලීසියද මෙම අහිංසක පාරිභෝගිකයන්ට තම බලය පෙන්වීමට සැදී පැහැදී සිටින්නේ මෙම ජාවාරම්කරුවන්ට සහායක් වීමේ අරමුණිනි. පොළට පැමිණෙන පාරිභෝගිකයින් ප්‍රධාන මාර්ගය දෙපස යතුරුපැදි නවතා තබන අවස්ථාවලදී එයට රථ ගාලේ බිම් කුලිය නොදී ති‍ෙබන යතුරුපැදි ඇතුළු වාහන සඳහා විවිධ අඩුප‍ාඩු පෙන්වා රථවාහන පනතේ පෑනේ බලය පෙන්වා දඩ ගැසීමට මෙම පොලිස් නිලධාරින් පෙරමඟ බලා සිටිති.

මෙයට මැදවච්චිය ඇතැම් ආයතනවල බලධාරින්ගේ සහයෝගය ද නොමසුරුව ලැබේ. ඒ තුළින් පාරිභෝගික ජනතාවට සිදුවන අක්‍රමිකතා පිළිබඳ මාධ්‍යයට හඬක් නැඟූ එච්. සෝමපාල මහතා, “අපි පොළට එන්නේ යතුරුපැදියෙන්. අපිට රුපියල් 50 හෝ එළවළු මලු කිහිපයක් අරන් ගිහින් තමයි සතියම දරුවන්ට කන්න දෙන්නේ. දැන් පොළට ඇතුළු වෙන්න මේ අය බදු ගහනවා. යතුරුපැදියකින් එනවා දැක්ක ගමන් ඒක කොහේ නැවත්තුවත් බිම් කුලිය ගෙවන්න ඕනේ. ගෙව්වේ නැත්තම් බඩු මල්ල අරන් එද්දි එක්කො බයික් එකේ පැච් එකක්. නැත්තම් ඒ යතුරුපැදිය දිහා ට්‍රැෆික් එකෙන් බලන් ඉඳලා මොකක් හරි අඩුපාඩුවක් හොයලා දඩ ගහන්න හදනවා. ඒ වගේම තමයි අපට තේරෙන්නේ මිනිස්සු බය කරලා මේ අය මුදල් හම්බ කරනවා කියන එක. ඒකට සහාය දෙන්නත් බලධාරින් පිරිසක් ඉන්නවා. මේවා අසාධාරණකම්. අපි අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා වහාම ටෙන්ඩර්කරුවන් දැනුම්වත් කරන්න කියලා. පොළේ රථ ගාලේ නවතා තබන යතුරුපැදිවලින් පමණක් බිම් බදු අයකරන්න කියන කාරණාව. මෙහෙම අසාධාරණකම් කරන්න එපා කියලා අපි පාරිභෝගිකයන් ලෙස බලධාරින්ට පවසා සිටිනවා”

ඩී. රණසිංහ, “මේ පොළේ සිදුවන්නේ තනිකර ජාවාරමක්. මෙහෙම මුදල් එක එක්කෙනාට නිකරුණේ දෙන්න අපි සූදානම් නෑ. මොකද මේ හැම සතයක්ම අපි මහන්සි වෙලා තමයි හම්බ කළේ. මෙතන රථ ගාලක් තියෙනවා. ඒකෙ නවත්වන වාහනවලට බිම් කුලියක් ගත්තට කමක් නෑ. ඇයි මේ ප්‍රධාන මාර්ගයත් සභාවේ ටෙන්ඩර්කරුවන්ට විකුණුවේ කියන ප්‍රශ්නය අපට තිබෙනවා. මේ වාගේ දේවල් මීට පෙර සිදු වෙලා නෑ. දැන් දැන් වෙන දේවල් දිහා බලද්දී බලධාරින් ඇස් පියාගෙන ඉන්නේ ඇයි කියන ගැටලුව අපට තියෙනවා. මිනිස්සු බය කරලා බිම් කුලී ගන්න ජාවාරම වහාම නවත්වන්න කියන ඉල්ලීම අදාළ බලධාරින්ගෙන් අපි ඉල්ලා සිටිනවා.”

කැබිතිගොල්ලෑව සමූහ

එස්.ජී. උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT