Home » සෞභාග්‍යයේ දැක්ම යටතේ කෝටි එකහමාරක් වැය කළ ස්ප්‍රිංවැලි නගර සංවර්ධන ව්‍යාපෘතිය සුදු අලියෙක්

සෞභාග්‍යයේ දැක්ම යටතේ කෝටි එකහමාරක් වැය කළ ස්ප්‍රිංවැලි නගර සංවර්ධන ව්‍යාපෘතිය සුදු අලියෙක්

by sachintha
April 22, 2025 1:14 am 0 comment

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ සෞභාග්‍යයේ දැක්ම යටතේ රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වැය කරමින් දියත් කළ හාලිඇළ ස්ප්‍රිංවැලි නගර සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීම් කිහිපයකට පමණක් සීමාවී අතරමඟ නතර වූ බවත්, ඒ යටතේ කළ ඉදිකිරීම් පවා පලක් නොවන ස්ථානයක ඉදිකිරීම නිසා ඒවායින් මෙතෙක් ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ අතර මේ වන විටත් ඉන් ප්‍රයෝජන ගන්නේ රිළවුන්, බල්ලන් හා ගවයින් වැනි සතුන් බවත් ප්‍රදේශවාසී ජනතාව පවසති.

හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ස්ප්‍රිංවැලි නගරය ඇල්ල නගරය හා ඒකාබද්ධ කරමින් සංචාරක නගරයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණු කරගෙන එම රජයේ දැයක් නඟන සියක් නගර වැඩසටහන යටතේ වර්ෂ 2021 නොවැම්බර් මස 14 වැනිදා ආරම්භ වූ මෙම ‘ස්ප්‍රිංවැලි නගර සංවර්ධන හා භූමි අලංකරණ ව්‍යාපෘතිය’ යටතේ බස් නැවතුම්පොළක්, සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ පොදු වැසිකිළි පද්ධතියක්, නගර පිවිසුම අසල කුඩා පීඨිකාවක් සහ සූර්ය බල වීථි ලාම්පු පද්ධතියක්ද ඉදිකෙරිණි. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරන ලද එම ඉදිකිරීම් 2022 මාර්තු මස 19 වැනිදා විවෘත කෙරුණු අතර නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම ඉදිකිරීම් සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 17.47කි. මෙතෙක් ජනතාවට පලක් නොවූ එම නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු මෙසේ අදහස් දැක්වූහ.

සෙබස්තියන් සගායම් මහතා, “දැනට අවුරුදු තුන හතරකට කලින් මේ ස්ප්‍රිංවැලි මංසන්ධිය නගරයක් ලෙස සංවර්ධනය කරනවා කියා ව්‍යාපෘතියක් ආරම්භ කර බස් නැවතුම්පොළක් හා වැසිකිළි පද්ධතියක් ඉදිකළා. නමුත් ඒවා ඉදිකළේ ජනතාව ගැවසෙන නගරයේ නෙවෙයි. නගරයට පහළ පාළු තැනක. ජනතාවට මෙතැනට එන්න වෙන අවශ්‍යතාවයක් නෑ. මේ බස් නැවතුම ස්ප්‍රිංවැලි හන්දියේ ඉදිකර තිබුණානම් ජනතාව ඉන් ප්‍රයෝජන ගන්නවා. නමුත් අද වන තුරු මේ බස් නැවතුමේ බසයක් නැවැත්තුවේ නෑ. බස් නැවතුම අසල එදා මැති ඇමැතිවරුන් අතින් නිරාවරණය කළ පුවරුව වත් අද නෑ. වැසිකිළි පද්ධතියත් එහෙමයි. කවුරුත් ප්‍රයෝජනයට ගන්නේ නෑ. මේ වැයකර තිබෙන්නේ ජනතාවගේ බදු මුදල්. ඒ නිසා අපි යෝජනා කරන්නේ මෙම ඉදිකිරීම් ආසන්නව තිබෙන වතු සමාගමකට අයත් නිසි ප්‍රයෝජනයක් නොගන්නා පැරැණි ගොඩනැඟිලි හා ඉඩම් අත්පත් කරගෙන හෝ මේ ප්‍රදේශය දක්වා නගරය පුළුල් කිරීමට කටයුතු කරන්න කියලයි. එසේ වුණොත් මේ සිදුකර ඇති ඉදිකිරීම්වලින්ද ප්‍රයෝජනයක් වෙනවා.”

ආර්.එම්. රූපසිංහ මහතා, “ඒ දවස්වල මේකට මුල්වූ මැති ඇමැතිවරුන් නිලධාරීන් කීවේ මේ නගරයත් එක්කම දෙමෝදර සිට ස්ප්‍රිංවැලි හරහා බදුල්ල දක්වා ඇති මාර්ගයත් සංවර්ධනය කරලා ස්ප්‍රිංවැලි නගරය ඇල්ල නගරය හා ඒකාබද්ධ කරනවා කියලයි. ඒත් එදා කළ ඉදිකිරීම්වලින් මෙතෙක් පලක් වුණෙත් නෑ. මාර්ගය සංවර්ධනය වුණෙත් නෑ. දෙමෝදර පැත්තෙන් හා බදුල්ල පැත්තෙනුත් මාර්ගයේ කොටසක් හැදුණත් මැද කොටස මේ වනතුරුත් හැදුණේ නෑ. මාර්ගය කාපට් කරනවා තබා ස්ප්‍රිංවැලි පාරේ වළක්වත් හරියට වහන්නේ නෑ. කානුවක් හදන්නේ නෑ. මොන රජයකින් වුණත් ජනතා මුදල් වැයකර සංවර්ධන ව්‍යාපෘතියක් පටන් ගන්නවානම් එය අවසන් කරන්න නිසි සැලසුමක් ඇතිව ආරම්භ කළ යුතුයි. භාගෙට ඉදිකර අත්හැර දැමීමෙන් වන්නේ ජනතාවගේ මුදල් අපතේ යාම විතරයි.

නගරවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රදේශය සංචාරක නගරයක් ලෙස සංවර්ධනය කිරීමට නම් පළමුව මෙසේ ඉදිකර ඇති ඉදිකිරීම්වලින්ද ප්‍රයෝජනයක් ගත හැකි වන ලෙස ඒ ආසන්නයේම ඇති වතු සමාගමකට අයත් නිසි ප්‍රයෝජනයක් නොගන්නා පැරැණි ගොඩනැඟිලි හා භූමිය රජයට පවරාගෙන එම ස්ථානය දක්වා නගරය පුළුල් කිරීමටත් මේ වන විට අඩාළව ඇති දෙමෝදර ස්ප්‍රිංවැලි හරහා බදුල්ල මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය විධිමත්ව නිම කිරීමටත් පියවර ගන්නා ලෙසයි.

හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT