Home » ‘TV’ ලකුණ ස්වාධීන කණ්ඩායමේ ජයග්‍රහණයට ආශිර්වාද කරනවා

‘TV’ ලකුණ ස්වාධීන කණ්ඩායමේ ජයග්‍රහණයට ආශිර්වාද කරනවා

by sachintha
April 22, 2025 1:09 am 0 comment

කොළොන්නාව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී දොඩම්ගොල්ලේ පඤ්ඤානන්ද හිමි

කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට තරග වදින මාධ්‍යවේදී ප්‍රින්ස් ගුණසේකර මහතාගේ නායකත්ව‍යෙන් යුත් ‘TV’ ලකුණ සහිත ස්වාධීන කණ්ඩායමේ ජයග්‍රණය උදෙසා සියලු දෙනාගේ ආශීර්වාදය හිමි වන බව කොළොන්නාව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාමාධිපති දොඩම්ගොල්ලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කළහ.

උන්වහන්සේ එලෙස ආශීර්වාද කළේ ‘TV’ලකුණ ස්වාධීන කණ්ඩායමේ මැතිවරණ කාර්යාලයක් මාදින්නාගොඩ ප්‍රදේශයේ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. මාදින්නාගොඩ කොට්ඨාසයට තරග වදින ධර්මවීර පෙරේරා මහතාගේ නිවෙස ඉදිරිපිටදී මෙම කාර්යාලය විවෘත වූ අතර, එහිදී දොඩම්ගොල්ලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ පිරිත් දේශනාකොට අනුශාසනාව පැවැත්වූහ.

උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

“’TV’ලකුණ ස්වාධීන කණ්ඩායමට නායකත්වය දෙන්නේ වසර 31ක් මේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු හා උප සභාපතිවරයකු ලෙස අත්දැකීම් බහුල අයෙක්. ඒ වගේම මාදින්නාගොඩ කොට්ඨාසයට තරග වදින ධර්මවීර පෙරේරා මහතා ප්‍රදේශයේ ජනතාවට හිතවත් සමාජ සේවකයෙක්. මේ අය එකතු වෙලා ගම හදන්න අලුත් කණ්ඩායමක් ඉදිරිපත්කොට තිබෙනවා. ඔවුන්ට සියලු දෙනාගේම ආශීර්වාදය හිමි වෙනවා”

කණ්ඩායම් නායක මාධ්‍යවේදී ප්‍රින්ස් ගුණසේකර මහතා එහිදී පැවැසුවේ, මෙවර තරග වදින කණ්ඩායම් අතුරින් නැවුම් දර්ශනයක් ඉදිරිපත් කළ එකම කණ්ඩායම තමන් ඉදිරිපත් කර ඇති බවයි. ගමේ ප්‍රශ්න විසඳන ක්‍රමය ඍජුවම තමන් ඉදිරිපත් කොට ඇති බවත්, ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තමන් ඇතුළු පිරිස ඉදිරිපත් වූ බවත්, පවතින රජය විවේචනය කිරීමත්, විපක්ෂයේ දුර්වලතා පෙන්වා දීමත් තමන්ට අදාළ නොමැති බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT