පවුලේ ඉල්ලීමට දින 2කුත් තියාගෙන
සියලු වියදම් ප්‍රදේශවාසීන් දෙදෙනකුගෙන් හා මල් ශාලාවකින්
දරුවන්, බිරිය මෙන්ම සොයුරිය විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයකුගේ දේහය ස්ව කැමැත්තෙන් භාරගෙන සියලු වතාවත් සමඟ ඔහුගේ අවමංගල උත්සවය පැවැත්වූ පිරිසක් පිළිබඳ විශේෂ පුවතක් පසුගියදා ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා විය.
ඉංගිරිය පදිංචිකරුවකු වූ බී.ජී. ආනන්ද නමැති 61 හැවිරිදි පුද්ගලයකුගේ අවසන් කටයුතු මෙලෙස සිදු කරන්නට යෙදුණු අතර, ඉංගිරිය පොළෙහි කලක් වෙළෙඳාම් කටයුතුවල නිරතව සිටි තැනැත්තකු වන ඔහු මානසික රෝගී තත්ත්වයක් හේතුවෙන් තම අවසන් කාලය නගරයේ තැන තැන ඇවිදිමින් අවසිහියෙන් ගතකොට තිබිණි. එසේ සිටියදී හදිසියේ වැලඳුණු හෘදයාබාධයක් හේතුවෙන් ඉංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතයෙන් සමුගත් මෙම තැනැත්තාගේ මරණය සම්බන්ධයෙන් ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි ඔහුගේ සොහොයුරියට දැනුම් දුන්නද ඇයගේ ඉල්ලීම වී ඇත්තේ රජයේ වියදමින් එම කටයුතු සිදු කරන ලෙසයි. පසුව ඉංගිරිය පොලීසිය සහ ඉංගිරිය හදිසි මරණ පරීක්ෂක ඉන්දික කනත්තවත්ත මහතාගේ මැදිහත්වීම මත ඉංගිරිය මලින්ද මල් ශාලාවේ වත්මන් හිමිකරු මාලික රංගජීව මහතා සිය කැමැත්තෙන් මෙම අවමංගල උත්සවය පැවැත්වීමට භාරගෙන තිබුණේ සියල්ලන්ටම මහත් ආදර්ශයක් සපයමිනි.
නමුත් මරණකරු විවාහක තැනැත්තකු බව පසුව දැන ගැනීමට ලැබීම හේතුවෙන් සාමාන්‍ය මරණ පරීක්ෂණයක් පැවැත්වීමට බාධා මතුව ඇති අතර, පසුව දින තුනක කාලයක් තිස්සේ හොරණ රෝහලේ මෘත දේහය ගබඩාකර තබා, බිරියගේ තොරතුරු සෙවීමට සිදුව තිබුණි. කෙසේ නමුත් මහත් පරිශ්‍රමයකින් පසු මරණකරුගේ බිරියගේ සහ දරුවකුගේ තොරතුරු සොයාගෙන ඇති අතර, ඔවුන් ද දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මාලික රංගජීව මහතා විසින් පෙර කථිකා කර ගත් පරිදි මලින්ද මල් ශාලාවේදී එම කටයුතු සිදු කිරීමට කටයුතු කෙරුණි. මෙහිදී මරණකරුගේ ඥාති හිතවතුන් විසින් දින දෙකක කාලයක් දේහය තබා ගැනීමට ඉල්ලීමක් ද කර තිබූ අතර, ඒ අනුව සියලු ආගමික වතාවත් ආදිය සිදු කර අනෙක් සාමාන්‍ය අවමංගල්‍යයන්වලදී සිදු කරන ආකාරයටම අංගසම්පූර්ණව මෙම කටයුත්ත සිදු කරන්නට යෙදුණු අතර, ආදාහනාගාර වියදම් ඉංගිරියේ යාමිත් චන්දන හතුරුසිංහ මහතා විසින් ද, අවමංගල ශාලා ගාස්තුව ඉංගිරිය, කිරිගල පදිංචි විජය කුමාර මහතා විසින් ද භාරගනු ලැබූ අතර, දේහය තැන්පත් කළ පෙට්ටිය, ඇඳුම්, ප්‍රවාහන වියදම් ආදී අනෙකුත් බරපැන ඉංගිරියේ මලින්ද මල් ශාලාව විසින් දරන ලදි.
මරණකරුගේ ඥාති හිතවතුන්, පවුලේ සාමාජිකයන් පමණක් නොව, නගරවාසීන් මෙන්ම වෙළෙඳ ප්‍රජාවේ සාමාජිකයෝ විශාල පිරිසක් ද අවමඟුල් උත්සවය වෙනුවෙන් සහභාගි වී සිටියහ.
ඉංගිරිය මධ්‍යම සමූහ
ප්‍රියදර්ශනී කහවල