Home » පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරු රටට හෙළි කරනවා කියා වත්මන් ආණ්ඩුව බලය ගත්තා

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරු රටට හෙළි කරනවා කියා වත්මන් ආණ්ඩුව බලය ගත්තා

-හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

by sachintha
April 22, 2025 1:34 am 0 comment

පාස්කු දා ප්‍රහාරයේ මහා මොළකරුවා රටට හෙළි කරන බවට අසත්‍ය ප්‍රකාශ කරමින් වත්මන් ආණ්ඩුව බලය ගත් බව හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පැවැසීය.

හිටපු රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“අදට වසර 06ක් වෙනවා පාස්කු දා බෝම්බ ප්‍රහාරයට. විශේෂ හෙළි දරව්වක් අප්‍රේල් 21 වැනිදාට කලින් ජනාධිපතිවරයා මෙහි මහා මොළකරුවා කවුද කියන එක රටට හෙළි කරනවා කියලා ප්‍රකාශ කළා. අපි බලාගෙන හිටියා ඒ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන්න ජනාධිපතිතුමා කටයුතු කරයි කියලා. නමුත් අද අපට පේන්නේ මෙය පාවිච්චි කරමින් බලය ගත් ආණ්ඩුව එදා රාජපක්ෂ ආණ්ඩුවට බලය ලැබුණේ පාස්කු දා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කියලා චෝදනා කරනවා. එය අවභාවිත කළා කියලා චෝදනා කරමින් මහා විශාල ඝෝෂාවක් කර වර්තමාන ආණ්ඩුව පම්පෝරි ගහමින් බලය ගත්තේ.

හැබැයි අපි ජනාධිපතිතුමාට පැහැදිලිව ප්‍රකාශ කරනවා, කතෝලික සභාවටයි, කාදිනල් තුමාටයි, කතෝලික ජනතාවයි ඒ අගතියට පත්වූ වින්දිතයන්ටයි දැඩි අසාධාරණයක් මේ හරහා සිදු කරනවා කියලා. ජනාධිපතිවරණයේදී එතුමා වේදිකාවක් වේදිකාවක් ගානේ මේ ගැන මතක් කරමින් ඒ අහිංසක මිනිස්සුන්ගේ තුවාල පැරෙව්වා. මිනිස්සුන්ට බලාපොරොත්තු ඇති කෙරෙව්වා. ඉන්පසු මහ මැතිවරණයේදී නැවත නැවතත් පල්ලියේ අල්තාරයේ පියතුමන්ලා ලව්වා කියවා ගත්තා මාලිමාවට ඡන්දය දෙන්න අනුර කුමාර ජනාධිපතිතුමා පාස්කු වින්දියන්ට සාධාරණයක් කරනවා කියලා. දැන් මෙය පාවිච්චි කරලා ඊයේ, පෙරේදා වෙද්දී එළියට එනවා CID එකට මේ ජනාධිපති කොමිසම් සභා වාර්තාව දුන්නා කියලා. මේ වාර්තාවේ ගත යුතු දේවල් වෙනුවෙන් මාස 06කට වැඩි කාලයක් කටයුතු නොකළේ ඇයි ? ඒ නිර්දේශ වෙනුවෙන් ජනාධිපතිතුමා කිසිදු සාධනීය උත්තරයක්, නීතියක් ක්‍රියාත්මක නොකළේ ඇයි ? තවත් මේ වූ වැරැද්ද සම්බන්ධයෙන් කොහෙටද ගෙනයන්නේ. එසේ නැතිනම් මේ එන ප්‍රාදේශීය සභා ඡන්දෙත් ඉලක්ක කරගෙන මේ පාස්කු දා බෝම්බ ප්‍රහාරය පාවිච්චි කරමින් ඡන්ද හොයනවද?

අපේ කඳවුර, රාජපක්ෂ කඳවුර මේක කළා කියලා ලියවා ගන්න තමයි මේ හදන්නේ. ඒ නිසා මේ කොමිසම් සභා වාර්තාවල, පරීක්ෂණ වාර්තාවල පැහැදිලිවම රාජපක්ෂවරයෙක්ගේ නමක් නැතිනම් ඒ නමක් මේකට ඇතුළත් කරගැනීමට තමයි මේ දඟලන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාගේ තිබෙන පෞද්ගලික තරහා කදිනල්තුමා ලවා, කතෝලික ජනතාව ලවා ඉස්මතු කරගන්න හදනවා නම් එසේ කරන්න එපා.

ඒ වගේම CID එකට භාරදී තිබෙන කොමිසම් වාර්තා මෙහෙයවන්නේ කවුද? එදා රවි සෙනෙවිරත්න මහතාට පැමිණි දුරකතන ඇමතුම්වලට අප්‍රේල් 21 වැනිදාට කලින් එතුමා කටයුතු කළා නම් අද බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපට කතා කරන්න සිදු වෙන්නේ නෑ. එදා පළවෙනියෙන්ම මේ බුද්ධි තොරතුරු පැමිණි තැන වැඩ කටයුතු කළ පුද්ගලයෙක් අද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා. අපට දේශපාලනයේ ජය පරාජය උහුලගන්න පුළුවන්. ජනාධිපතිතුමා බොරුවෙන් උපන් කුමාරයෙක් මිසක් වෙන කෙනෙක් නොවේ. බොරුව අරගෙන ඇවිල්ලා පාලන බලය ගත්තේ. ඒ එකදු බොරුවක්වත් අද වෙද්දී ඇත්තක් කරගන්න ජනාධිපතිතුමාට බැරිව තිබෙනවා.”

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT