ආණ්ඩුව තවත් වටයකින් මේ රටේ ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කළ නිසා ආණ්ඩුව එක මිටට එකතු වෙලා මට පහර දෙනවා යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (21) පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
“ජනාධිපතිගේ සිට නන්නාඳුන මන්ත්‍රිවරුන් දක්වා කතාවක් පැවැත්වුවොත් සමස්ත ආණ්ඩුවම පහර දෙන්නේ තනි මට. ටිල්වින් සිල්වා මහතාගේ සිට ජවිපෙ සිටින සියලුම දෙනා පහර දෙන්නේ තනි මට. කණ්ඩායමක් තනි ඔබට පහර දීමට පැමිණෙත් නම් සටන ඇරඹීමට පෙරම ජයග්‍රහණය ඔබ සතුය කියා කියමනක් තිබෙනවා. මුළු ආණ්ඩුවම එක මිටට එකතුව මාව වීරයෙක් කිරීම සම්බන්ධයෙන් මාලිමාවේ නායකයන්ට ප්‍රණාමය පුද කරනවා.
මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මේ රටේ ජනතාව රවටන්න දැරූ උත්සාහයක් අපට පරාජය කරන්න පුළුවන් වුණා. ආණ්ඩුවට මාස හයක් සම්පූර්ණ වුණාම කාදිනල්තුමා ආණ්ඩුවට තර්ජනයක් කළා. පාස්කු දා ප්‍රහාරයට අවුරුදු හයක් සම්පූර්ණ වන අප්‍රේල් 21 වන විටත් පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරු හෙළිදරව් කරන්න ආණ්ඩුව අසමත් වුණොත් තමන් කතෝලික ජනතාව සමඟ පාරට බහිනවා කියලා. මේකෙන් තැති ගත් ජනාධිපතිතුමා මාර්තු 30 වැනිදා මැතිවරණ වේදිකාවේ සිට පොරොන්දුවක් දෙනවා අප්‍රේල් 21ට පෙර පාස්කු දා ප්‍රහාරයට වගකිවයුතු පිරිසක් හෙළිදරව් කරන බව.
ඒ නිසා හැමෝම බලාගෙන හිටියා 21ට පෙර ජනාධිපතිතුමා මොකක් හරි හෙළි දරව්වක් කරාවි කියලා. හෙළිදරව්ව කළා ද? කරගන්න පුළුවන් වුණේ නෑ.
ආණ්ඩුව සැලසුම් කර තිබුණේ පිල්ලෙයාන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ඉන්න අතරේ පිල්ලෙයාන් පපොච්චාරණ කළ විදියට තමන්ගේ හිතේ ඉන්න කෙනා මහ මොළකරු බවට ප්‍රකාශ කරන්න. ඒ නිසා තමයි පිල්ලෙයාන් අත්අඩංගුවට අරන් කාත් එක්කවත් කතා කරන්න නොදුන්නේ. ඒ නිසා තමයි නීතියෙන් හිමි නීතිඥවරයකුට සහාය ගැනීමට පිල්ලෙයාන්ට අවස්ථාව නොදුන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අත්අඩංගුවට ගැනීමට හේතුවක් දැක්වීම පොලීසියෙන් ප්‍රතික්ෂේප කළේ.
පාස්කු දා ප්‍රහාරය සිදු වු ආකාරය පිළිබද ඉතාම වෘත්තීය මට්ටමේ විශ්ලේෂණයක් ඒ හරහා දැන ගන්න පුළුවන්. ”
රන්මලී සෝමසිරි