Wednesday, April 23, 2025
Home » පළාත් පාලන ආයතන හොර ගුහා වෙලා

පළාත් පාලන ආයතන හොර ගුහා වෙලා

-ඇමැති කේ. ඩී. ලාල්කාන්ත

by sachintha
April 22, 2025 1:28 am 0 comment

පළාත් පාලන ආයතන කියන්නේ ජන ජීවිතයට බරපතළ විදියේ බලපෑමක් කළ හැකි ආයතන බවත්, පොදුවේ ගත් විට මෙරට පළාත් පාලන ආයතන කියන්නේ හොර ගුහා බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ. ඩී.ලාල්කාන්ත මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ කළුතර මහ නගර සභාවට ජාතික ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයන්ට සහාය දැක්වීමට කළුතර පැනොරාමා හෝටලයේ පැවැති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

“රනිල් වික්‍රමසිංහ 2023 ඡන්දෙ නොතිබ්බේ පරදින නිසා. අපි දැන් ඉන්නේ ආණ්ඩු කරන ක්‍රියාවලියේ. රට ගැන, දරුවන්ගේ යහපත් අනාගතය ගැන ජනතාවට ඇති සිහින අපි දන්නවා. මේ මැතිවරණයෙන් අපි දිනන එක ගැන කිසි ප්‍රශ්නයක් නෑ. අය-වැයෙන් සංවර්ධනයට වෙන් කළ මුදල් ගමට එන්න ඕනෙ. දැන් ප්‍රාදේශීය සභා සහ නගර සභාවලට ආණ්ඩුව නෑ. ඒ හිස් තැන් පුරවන්න අපි හරි හමන් ජනතා නියෝජිතයන් පිරිසක් යැවිය යුතුයි. එය අවබෝධයෙන් කළ යුතු පුරවැසි වගකීමක්. පළාත් පාලන ආයතන කියන්නේ ස්වාධීනව කටයුතු කළ හැකි බලවත් ආයතන. ජනතාවට බදු ගහන්නත් පුළුවන්. තියෙන බදු ඉවත් කරන්නත් පුළුවන්. ඒ වගේම වියදම් කරන්නත් පුළුවන්. ඒත් මෙදා පාර දූෂණ සහ වංචා කරන්න හම්බ වෙන්නේ නෑ. ගමේ පාර හරියට හැදෙනවා. කුණු පිළිවෙළට අදිනවා. පෙර පාසල, පුස්තකාලය සංවර්ධනය වෙනවා. නුවර සොහොන් පිටියක් තියෙනවා. හරියට මල් වත්තක් වගේ. ඒක සුද්දගෙ කාලෙ ඉඳලා තිබූ එකක්. නඩත්තු කරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයෙන්. අපේ ප්‍රාදේශීය සභාවල සුසාන භූමිත් ඒ වගේ තියෙනවද? අපි කරන්නේ වැඩිහිටියන් කැලේට විසි කර දමා එන එක. මිදුල අතු ගාලා පාරට කුණු දමනවා වෙනුවට පාර අතු ගාලා ඇතුළට අරන් කුණු ලොරිය ආවාම දෙන මනසකින් යුතු පුරවැසියන් අපි හැදිය යුතුයි. රට ගොඩනඟන වැඩේදී පළාත් පාලන ආයතනවලට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙනවා. මධ්‍යම රජය කැපකිරීම් කර ඉතුරු කරනන සල්ලිවලින් පිස්සු නටන්න බෑ. මේ ආයතනවලට සුදුසු පුද්ගලයන් පත් කර එවිය යුත්තේ ඒ නිසයි. මේ සැරේ දළදා වන්දනාව තියෙනවා. කෙනෙක් මගේ කනට කර ඇහුවා, නෝනා ආවෙ නැද්ද කියලා.ඇත්තටම මගේ බිරිඳ නම් එහෙම එන්න ඇහුවෙවත් නෑ. ඒ වගේම තමයි, අපටත් යන්න බැරිද කියලා වෙන කවුරුවත් ඇහුවෙත් නෑ. ජනතාවත් ඒ විදිධියට වෙනස් වෙලා. එහෙම තත්ත්වයට පත් වූ එකම කොච්චර දෙයක්ද? ඉහළ වෙනස් වෙද්දී පහළ වෙනස් වෙනවා. රාජ්‍ය සේවයටත් වෙනස් නොවී බෑ. වෙනස් නොවුණොත් හදන්නෙ නැතුවත් බෑ.”

මෙහිදී ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි, කළුතර මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක,හිටපු අමාත්‍යාංශ ලේකම්, නීතිඥ ඒ. පී. ඒ.ගුණසේකර, අපේක්ෂකයන් වන ධනුජ සෝමරත්න සහ ඉරෝෂා ද සිල්වා මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.

කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT