යුද්ධය පැවැති ප්‍රදේශවල සංවර්ධන කටයුතු සහ ජන ජීවිතය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ප්‍රකාශ කළාය.
අගමැතිනිය මේ බව පැවැසුවේ කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පලෙයි සහ පුනරින් ප්‍රදේශවල ඉකුත්දා (19) පැවැති ජාතික ජන බලවේගයේ ජනහමු අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිනිය මෙලෙස ද කීවාය.
“කිළිනොච්චි දිස්ත්‍රික්කය කියලා කියන්නේ යුද්ධය පැවැති කාලය පුරාම බැටකාපු ජනතාවක් සිටින දිස්ත්‍රික්කයක්. යුද්ධය නිසා ආබාධිත වූ විශාල පිරිසක් ඉන්නවා. තරුණ පරපුරේ මවුපියන් බොහෝ දෙනෙක් ඒ කාලේ යුද්ධය නිසා ආබාධිත වූ පිරිස් බව මට දැනගන්න ලැබුණා. උතුරු නැඟෙනහිර කාන්තාවන් බොහෝ දෙනෙක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙන බොහෝ පීඩාවට පත් වෙලා තියෙනවා. ඔවුන් ඒවා ගත්තේ තමන්ගේ පවුල වෙනුවෙන්. එහෙම නැත්නම් දරුවන්ට උගන්වන්න. සමහර ප්‍රදේශවල අභිමානයෙන් අවසන් ගමන යන්න සුසාන භූමියක්වත් නෑ. ඒක හරිම සංවේදී කාරණාවක්. සමහර ප්‍රදේශවල පානීය ජල ගැටලු තිබෙනවා. ජලයට ලවණ මිශ්‍ර වීම නිසා ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නවා. දරුවන්ට යන්න හොඳ පාසලක් නෑ. මේවා විසඳන්න පුළුවන් ප්‍රශ්න. හැබැයි කලින් හිටපු පාලකයන්ට මේවා දැනුණේ නෑ. ඒ නිසයි ඔබ පීඩා විඳින්නේ.
වසර 16කට පසු අද අපි දකිනවා යුද්ධයෙන් විනාශ වූ පොල් ගස්, තල් ගස් නැවත වැවිලා. හැබැයි ඊට වඩා මොනවද මේ ප්‍රදේශවල වෙනස් වෙලා තියෙන්නේ. ජන ජීවිතය වෙනස් වෙලා තියනවද? යුද්ධය පැවැති ප්‍රදේශවල ගැටලු පිළිබඳ සොයා බැලුවම පැහැදිලියි ඒ ප්‍රදේශවලට විශේෂ අවධානයක් අවශ්‍යයි කියලා. උතුරු නැඟෙනහිර ප්‍රදේශවල අධ්‍යාපන, සෞඛ්‍ය, මහා මාර්ග, ජීවනෝපාය ආදී ජනතාවගේ මූලික අවශ්‍යතා යුද්ධය හමාර වී වසර ගණනකට පසුවත් තාම ඉටු වී නෑ. ඒ සඳහා ප්‍රාදේශීය මට්ටමින් නිවැරදි නායකත්වයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව තදින්ම පවතිනවා. උතුරු නැඟෙනහිර සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ප්‍රදේශ සංවර්ධනය කර ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා. ඉදිරියේදී එලෙසින් ශක්තිමත් සංවර්ධිත ප්‍රාදේශීය සභා සහ නගර සභා ගොඩනැඟීම උදෙසා ජනතාවට සවන් දෙමින් ජනතාවාදීව ක්‍රියාත්මක වන ජාතික ජන බලවේගය සමඟ ගම ශක්තිමත් කිරීමට ජනතාවට එක්වන්නැයි ආරාධනා කරනවා.”
නුවන් කොඩිකාර