එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් 60ක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (21) තීරණය කළේය.
මඩකළපුව නගර සභාව, ජා-ඇළ ප්‍රාදේශීය සභාව, මන්මුණෙයි ප්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක් වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සම් මෙලෙස නිෂ්ප්‍රභ කෙරිණ.
නිසි කාලසීමාව තුළ එම පෙත්සම් ගොනු නොකිරීම, මැතිවරණය පැවැත්වීම අනවශ්‍ය ලෙස තවදුරටත් කල් යාම වැළැක්වීම සහ ඒ වෙනුවෙන් සිදු වන අතිරේක වියදම් වැළැක්වීම යනාදී කරුණු සැලකිල්ලට ගෙන මෙම පෙත්සම් ඉවත දමන ලදී.
අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමද ප්‍රතික්ෂේප කරන ලදී.
අභියාචනාධිකරණ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදී.
එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරු පෙත්සම් සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් කරුණු ඉදිරිපත් කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මනෝහාර ජයසිංහ මහතා නීතිපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කිරීම, උප්පැන්න සහතික සාම විනිසුරුවරයා විසින් සහතික කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වැනි උපලේඛනය යටතේ දිවුරුම සම්බන්ධයෙන් වූ ගැටලු සහ නාමයෝජනා පත්‍ර ඇතුළු ලේඛන නිසි වේලාවට භාරදී නොතිබීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස තේරීම් භාර නිලධාරීන්ට අභියාචනාධිකරණය විසින් මීට පෙර නියෝගයක් ලබා දී තිබූ බවය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීන්දුව සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන තුරු එම තීන්දුව බලාත්මක බව ද එම නියෝගය අනුව තේරීම් භාර නිලධාරීන් ඇතුළු වගඋත්තරකරුවන් කටයුතු කරනු ඇතැයි අධිකරණය අපේක්ෂා කරන බව ද වැඩබලන සභාපති විනිසුරු ලෆාර් තාහීර් මහතා සඳහන් කළේය.
දැනට පවතින මැතිවරණ නීතියේ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙන බව පෙනී යන බව මෙම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට අදාළ පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී පැහැදිලි වන බව ද වැඩබලන සභාපති විනිසුරු ලෆාර් තාහීර් මහතා සඳහන් කළේය.
නාමයෝජනා පත්‍ර භාරදී අඩු-පාඩු සකස් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දීම ඇතුළුව මැතිවරණ නීතිය සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථාදායකයේ අවධානය යොමු කරන්නේ නම් වඩා සුදුසු බවද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ සඳහන් කළේය.
නෙල්කා මැදගෙදර