Home » ප්‍රසන්න රණවීරට-මිල්රෝයිට දෙවැනි වරටත් වරෙන්තු

ප්‍රසන්න රණවීරට-මිල්රෝයිට දෙවැනි වරටත් වරෙන්තු

-මර්වින් සිල්වා මැයි 5 තෙක් යළි රිමාන්ඩ්

by sachintha
April 22, 2025 1:37 am 0 comment

කිරිබත්ගොඩ නව නගරයේ ඉදිකිරිම් සඳහා පවරා ගෙන තිබූ රුපියල් කෝටි දෙකක වටිනාකමකින් යුත් රජයේ ඉඩම කූට ලේඛන සකසා පෞද්ගලික අංශයට විකුණුවේ යැයි කියන සිද්ධියට අදාළ අධිකරණය මගහරින සැකකරුවන් වන හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අයවලුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය දෙවන වරටත් ඊයේ (21) වරෙන්තු නිකුත් කළාය.

මහේස්ත්‍රාත්වරිය එසේ නියම කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරින් කළ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කරමිනි.

මෙම සිද්ධියට අදාළ පළමුවැනි සැකකාර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, දෙවෙනි සැකකරු වන කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා ඇතුළු සිවු දෙනා ලබන මැයි මස 05 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් කෙරිණි.

ඒ අනුව මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හිටපු ඇමැතිවරයකු වන මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වරයකු වන වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් සහ තරංග නවීන් වීරකෝන් යන සිවු දෙනාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය.

‘‘මේ වන විට මෙම සිද්ධියට අදාළ අධිකරණය මගහරින සැකකරුවන් වන හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අයවලුන් අත්අඩංගුවට ගැනීමට ඉකුත් 09 වන දින අධිකරණයෙන් පළමුවරට වරෙන්තු නිකුත්වූ අතර එම වරෙන්තු වාර්තා ඔවුන් පදිංචි නිවාසවලට රැගෙන ගොස් ඔවුන්ගේ පවුලේ ඥතීන් වෙත භාර දී ඔවුන් ඔවුන් පිළිබඳව විමසීමට කටයුතු කළා. එහිදී එම සැකකරුවන් අදාළ පදිංචි ස්ථානවලින් පලාගොස් ඇති බවට ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් ප්‍රකාශ ලබාදී ඇති අතර එම නිසා එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන සිදු කරනවා. මෙම අධිකරණය මගහරින එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට දෙවන වරටත් වරෙන්තු නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. මීට අමතරව මෙහි රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් සිවු දෙනාට පොදු දේපළ පනත යටතේ නඩු පවරා ඇති අතර ඔවුන් තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියම කරන ලෙසට ඉල්ලා සිටිනවා”

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය.

‘‘හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට ප්‍රතිකාර කළ නවලෝක රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරා මහතා විසින් ඔහු සම්බන්ධව පසු ගිය දින වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති අතර මේ වනවිට ඔහුගේ මුත්‍රා රෝගී තත්ත්වය උත්සන්නව සැරව ගැලීම දක්වා එය වර්ධනය වී ඇති බව පැවැසීය. හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අවශ්‍ය ප්‍රතිකාර බන්ධනාගාර රෝහලෙන් නොලැබෙන බවත් එම නිසා ඔහුට නවලෝක රෝහලට ඇතුළත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා. මෙම නඩුව දේශපාලන නඩුවක් වන බැවින් බන්ධනාගාර නිලධාරීන් ඒ සඳහා ක්‍රියාත්මක වන්නේ නැහැ.“

ඉදිරිපත්වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ රෝගි තත්ත්වය සම්බන්ධයෙන් මහර බන්ධනාගාර අධිකාරිවරයාගේ අවධානය යොමු කිරීමට නියම කර මෙහි රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් සිවුදෙනා ඉදිරි දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මහර බන්ධනාගාර නිලධාරීන් නියම කළාය.

මෙම නඩුවට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් මහර බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන ඔවුන් නීරික්ෂණ කර අදාළ නියෝග ඔවුන්ට දැනුම්දීමට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළාය.

මහර සමූහ – ගණිඳු රෝචන සමරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT