මේ දිනයන්හි මැස්සන්ගේ බෝවීම ඉහළ යාම නිසා කුඩා දරුවන් පාචනය රෝගයෙන් බේරා ගත යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා “දිනමිණ”ට ඊයේ (21) පැවැසීය. කුඩා දරුවන්ට පාචනය රෝගය වැලඳීම මේ දිනවල ඉහළ ගොස් ඇති බවත් පාචනය නිසා දරුවන් විජලනයට පත් වන බවත් ඒ මහතා අවධාරණය කළේය. පාචනය රෝගයට අමතරව මේ දිනයන්හි පවතින අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය නිසා දරුවන් විජලනයට පත් වීම වැඩි වී ඇතැයිද ඔහු කීය. දරුවන් විජලනය වීම වැළැක්වීමට ස්වාභාවික දියර වර්ග පානයට ලබා දිය යුතු බවත් දෙහි, දොඩම්, දෙළුම්, තැඹිලි, පිරිසිදු ජලය යනාදී ස්වාභාවික දියර වර්ග පානයට ලබාදීම වැදගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
දරුවන් විජලනයට පත් වීම වළක්වා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් නොඑසේ නම් දරුවන්ගේ ජීවිත අහිමි වීම පවා සිදු විය හැකි බවත් ඒ මහතා පැවසුවේය.
සන්ධ්‍යා කරුණාරත්න