ගෝලීය සදාචාරාත්මක පැවැත්මක් උදෙසා මඟපෙන්වන්නකු මෙන්ම, සාමය, යුක්තිය සහ දයානුකම්පාව වෙනුවෙන් ගැඹුරු මෙන්ම ගෞරවනීය හඬක් නැඟූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් තමාගේ හෘදයංගම ශෝකය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
දුප්පතුන් කෙරෙහි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නොසැලෙන මානවවාදී දැක්ම මෙන්ම ගෝලීය එකමුතුකම වෙනුවෙන් වෙහෙස නොබලා දැරූ ප්‍රයත්නය සහ උන් වහන්සේගේ අධ්‍යාත්මික නායකත්වය සියලු ආගම්වලට අයත් මිලියන ගණනකගේ සිත්සතන් ස්පර්ශ කරන්නට සමත් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිබඳ මතකය ශ්‍රී ලංකාව තුළ සුවිශේෂි වූ භක්ත්‍යාදරයකින් යුතුව සමරනු ලබයි. 2015 වසරේ ජනවාරි මාසයේ දී අප රටෙහි උන් වහන්සේ සිදු කළ ඓතිහාසික සංචාරය, වසර ගණනාවක යුදමය තත්ත්වයකින් පසු අප ජනතාව සුවපත් කළ අධ්‍යාත්මික සුවයේ සහ අන්තර් ආගමික සහයෝගීතාවේ මොහොතක් ලෙසින් අප සැමගේ මතකයේ සදා පවතී. උන් වහන්සේගේ සම්ප්‍රාප්තිය, සාමය, බලාපොරොත්තුව සහ ප්‍රජාවන් අතර සංහිඳියාව සඳහා වූ නව කැඳවුමක් විය.
මිලියන 1.7කට ආසන්න වන ශ්‍රී ලංකාවේ කතෝලික බැතිමත්හු මෙම කිසිදා පිරවිය නොහැකි වියෝව හමුවේ ශෝක වන ලෝකවාසී කතෝලික බැතිමතුන් සමඟ එක්ව සිටිති. එසේම ආගමික භේදයකින් තොරව සාමය, සහජීවනය සහ මානව ගරුත්වය අගයන සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ මිතුරකු ලෙසින්ද, දුෂ්කර සමයන්හි සදාචාරාත්මක මං පෙත් හෙළි කළ මඟපෙන්වන්නකු ලෙසින්ද උන් වහන්සේව සදා සිහිපත් කෙරෙනු ඇත. උන් වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ ජීවනාදර්ශය අනාගත පරම්පරාවන්ට නව සුසමාදර්ශයක් වනු ඇත. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගීය සම්පත්තියට ප්‍රවිෂ්ට වේවා !