Home » ‘නිවිසැනසිල්ලේ දළදා වහන්සේ වන්දනාමාන කර ගත්තා’

‘නිවිසැනසිල්ලේ දළදා වහන්සේ වන්දනාමාන කර ගත්තා’

-මහනුවරට වැඩම කළ මහා සංඝරත්නය කියති

by sachintha
April 22, 2025 1:41 am 0 comment

ශ්‍රී දළදා වන්දනාව සඳහා දිවයිනේ සතර දෙසින් පැමිණෙන පිරිස අතර මහා සංඝරත්නය ද දක්නට ලැබෙන අතර උන්වහන්සේලාට කිසිදු අපහසුවකින් තොරව දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීම සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ උපදෙස් මත දළදා මාලිගාව පියවර ගෙන තිබේ.

උදෑසන දානය මෙන්ම දහවල් දානය ද මහා සංඝරත්නය උදෙසා මහනුවර නාථ දේවාල පරිශ්‍රයේ දී පිළිගැන්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත. දළදා වන්දනාව සඳහා ඊයේ (21) මහනුවරට වැඩම කළ මහා සංඝරත්නය මෙසේ අදහස් දැක්වූහ.

පුළුක්කුලමේ සෝමරතන හිමි – මම දළදා වහන්සේ මුල් වරට දැක වැඳපුදා ගත්තේ 1968 දී. එතකොට මම බොහොම පොඩියි. ලොකු මතකයක් නැහැ. ඊට පස්සේ මේ අද තමයි දළදා වහන්සේ දෑසින් දැක්කේ. මට දැන් අවුරුදු 75ක්. මහා සංඝරත්නයට පෝලිම්වල රැඳී නොසිට දළදා වන්දනාව සඳහා දළදා මැඳුරට ඇතුළු වීමේ අවස්ථාව සංවිධායකයින් ලබා දී තිබෙනවා. දහවල් දානය වළඳලා බොහොම නිවිසැනසිල්ලේ දළදා වහන්සේ වන්දනා කළා. මල්වතු අස්ගිරි මහානායක හිමිවරු සහ දියවඩන නිලමේතුමන් දළදා වන්දනාව පෙරවරු 11.00ට ආරම්භ කිරීමට ගත් තීරණය ඉතා හොඳ එකක්. මොකද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෝලිම්වල දින දෙක තුන දළදා වහන්සේ දෑහින් දකින්න බලාගෙන ඉන්නවා. කුඩා දරුවොත් ඒ අතර ඉන්නවා. මේ තීරණයත් එක්ක දවසකට තවත් දහස් ගණනකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ලැබේවි.

මොනරාගල ධර්ම ගෝතමි මෙහෙණින් වහන්සේ මෙසේ අදහස් දැක්වූහ. අද දිනයේ සිට සැදැහැවතුන්ට දළදා වන්දනා කරන්න පෙරවරු 11.00 සිට අවස්ථාව ලබාදීම ගැන හරිම සතුටුයි. මේ තීරණය ගැන මුළු ලංකාවම සතුටු වන බව මම දන්නවා. දළදා වහන්සේ ඇස් දෙකෙන් දැක්කම තමයි අපිට තේරෙන්නේ අපි මොනතරම් පින්වන්තයි ද කියලා. දළදා වහන්සේ දෑසින් දකින කොට මෙහෙණින් වහන්සේ කෙනෙක් වන මගෙත් ඇස් කඳුළෙන් තෙත් වුණා. අපහසුතා ලෙඩ රෝග තිබුණත් ඒවා මොහොතකට අමතක කර දළදා වඳින්න එන්න කියලා මම ජනතාවට කියනවා. ඒ සියලු ලෙඩ දුක් අපහසුතා දළදා වහන්සේගේ බල මහිමයෙන් මඟ හැරෙන බව ස්ථිරයි.

මහියංගණ හෙට්ටිපොළ වැඩ වාසය කරන ඕමන්තේ ධම්මසිරි හිමියෝ මෙසේ අදහස් දැක්වූහ. අවුරුදු 16කට පසු මේ අවස්ථාව ලබාදීම ගැන ජනාධිපතිතුමාටත් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ටත් දියවඩන නිලමේවරයාටත් අපේ ස්තුතිය පුද කළ යුතුයි. ජනතාව දළදා වහන්සේ දෑසින් දැක ගන්න මොනතරම් කැමැත්තකින් හිටියද කියල එක මේ ජන ගඟ බැලුවම පේනවා. ආබාධ සහිත අය පවා තමන්ගේ ආබාධ තත්ත්වය නොසලකා නොයෙක් දුෂ්කරතා මැද මේ පුණ්‍ය භූමියට එන්නේ දළදා වහන්සේ උදෙසා පවතින්නා වූ අප්‍රමාණ වූ ගෞරවය නිසයි.

වරාපිටියේ ඥානරතන හිමි මෙසේ පැවසූහ. මම ඓතිහාසික බිංතැන්න ප්‍රදේශයේ සිටයි වැඩම කළේ. දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අද පෙරවරුවේ මේ ඓතිහාසික සෙංකඩගල පුණ්‍ය භූමියට ආවා. ජීවමාන ලෝතුරා බුදුන් වහන්සේ දැක්කා වගේ හැඟීමක් උන්වහන්සේ ගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරන අවස්ථාවේ දැනුනා. වත්මන් රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටත් මහනායක හිමිවරු සහ දියවඩන නිලමේතුමන්ටත් පුණ්‍යානුමෝදනා කළ යුතුයි.

වෙල්ලස්සේ සිට මහනුවරට වැඩම කළ ඇකිරියන් කුඹුරේ සුමනරතන හිමියෝ දැක්වූයේ මෙවන් අදහසකි. එදා දළදා වහන්සේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩසර පියන්ගල රජමහා විහාරස්ථානයේ වැඩ හිටියා. උන්වහන්සේ මේ ඇස්වලින් දැක බලා ගැනීමට ලැබීම ගැන තිබෙන්නේ පුදුම සතුටක්. ජීවමාන බුදුන් දැක්කා කියන හැඟීම අප තුළ තිබෙනවා.

නිඳගල සුදම්ම හිමි ද දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා වැඩම කර තිබුණේ තවත් භික්ෂූන් වහන්සේ කණ්ඩායමක් සමඟය. උන්වහන්සේ මෙසේ පැවසූහ. පදියතලාවේ සිට මම වැඩම කළා. අපි පෙරේදා (20) රාත්‍රියේ තමයි මහනුවරට පැමිණියේ. මේ ගමන එනවා කිවුවාම ඇත්තටම නින්ද ගියෙත් නැහැ. මොකද දළදා වහන්සේ දෑසින් දකින්න පුදුම ආශාවක් හිතේ තිබුණේ. අද අපි ජීවමාන බුදුන් දැක්කා. ඒ ගැන හරිම සතුටුයි.

අසේල කුරුළුවංශ

ඡායාරූප- රුවන් මීගම්මන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT