Home » යතුරුපැදියක් ලොරියක මුහුණට මුහුණ ගැටී ඉංජිනේරු සිසුවා නොඑන ගමන් යයි

යතුරුපැදියක් ලොරියක මුහුණට මුහුණ ගැටී ඉංජිනේරු සිසුවා නොඑන ගමන් යයි

by sachintha
April 22, 2025 1:02 am 0 comment

රස්නායකපුර පොලිස් වසමේ කඩිගාව ප්‍රදේශයේදී, රිය අනතුරින් මියගිය සරසවි ඉංජිනේරු සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ නිකවැරටිය අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.යූ. රත්නායක මහතා මෙම මරණය සුෂුම්නාවට, ඉළ ඇට, කොඳු ඇට සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදු වූ හානි හේතුවෙන් සිදු වූ මරණයක් බව සඳහන් කළේය.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ නිකවැරටිය මහේස්ත්‍රාත් චන්දන ලියනගේ මහතා විසින් රස්නායකපුර පොලීසියට කරන ලද නියෝග අනුව මියගිය සරසවි සිසුවාගේ සිරුර පිළිබඳව වූ පශ්චාත් මරණ පරීක්ෂණය නිකවැරටිය මූලික රෝහලේදී සිදු කෙරිණි.

යතුරුපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්, රස්නායකපුර කඩිගාවේදී සිදු වූ අනතුරකින්, යතුරුපැදියේ ගමන්ගත් පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සරසවි ඉංජිනේරු සිසු කාවින්ද රුක්ෂාන් විජේබණ්ඩාර (26) නැමති තරුණයා මෙලෙස මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ මරණකරු සමඟ යතුරුපැදියේ ගමන් ගත්, හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි ඥාති සොයුරා වන හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි අකිල සදීප චතුරංග (18) අනතුරට ලක්ව බරපතළ තත්ත්වයෙන් නිකවැරටිය මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

මෙම ඥාති සොයුරන් දෙදෙනා සිංහල අවුරුද්දට රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි ඥාති නි‍ෙවසකට පැමිණ යතුරුපැදියෙන් ආපසු යමින් සිටියදී, රස්නායකපුර කඩිගාව ප්‍රදේශයේදී යතුරුපැදිය සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද ලොරි රථය සහ සැකකාර රියැදුරා අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළේය.

කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව, සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාරනායක මහතාගේ මෙහෙය වීමෙන් පොලිස් සැරයන් ජයකොඩි (45885) සහ පොලිස් සැරයන් සරත් (46810) යන නිලධාරින් විසින් පරීක්ෂණ සිදු කෙරේ.

නිකවැරටිය සමූහ ගයන්දි පමෝධා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT