Home » වතු කම්කරුවන්ටත් පුරවැසි අයිතිවාසිකම් දෙමින් දුප්පත්කම තුරන් කරනවා

වතු කම්කරුවන්ටත් පුරවැසි අයිතිවාසිකම් දෙමින් දුප්පත්කම තුරන් කරනවා

-“ජය නියතයි ගම අපිටයි” බදුල්ලේ ජන රැලිය අමතමින් ජනපති කියයි

by sachintha
April 22, 2025 1:01 am 0 comment

වතු ජනතාවට වත්තෙන් නිදහස් වී ව්‍යවසායකයන් වීමට අවස්ථා 

කිසි දිනෙක කඩා නොවැටෙන ආර්ථිකයක් ගොඩනඟනවා

2025 වැඩිම අපනයන ආදායමක් ඉපැයූ වසර බවට පත් කරනවා

රු.1700 වතු කම්කරු වැටුප ස්ථිර කිරීමට පියවර

වතු කම්කරු ජනතාවටත් මෙරට පුරවැසි අයිතිවාසිකම් දිනා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

“ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට පසුගියදා (19) බදුල්ලේදී එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ පාලන කාලය තුළ මෙරට දුප්පත් බව තුරන් කිරීම සඳහා කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මාස හයෙන් ආණ්ඩුව කඩා වැටෙනතුරු බලා සිටිය ද හතරගාතෙන් වැටී සිටින්නේ ආණ්ඩුව නොව එම අසාර්ථක දේශපාලනඥයන් බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

මේ මහ පොළොවේම ඉපිද, මහ පොළොව සමඟ පොරබඳිමින්, මහ පොළොවේම මියැදුණ ද වතුකරයේ කම්කරු ජනතාව මෙරට පුරවැසියන් ලෙස නොසැලකීමේ යුගය අවසන් කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඉන්දීය රජය යටතේ හිමිව ඇති නිවාස ව්‍යාපෘතිය කඩිනම් කර එම ජනතාවට දීමට කටයුතු කරන අතරම, වත්තට ගැට ගසා තිබෙන වතුකර ජනතාව, වත්තෙන් නිදහස් කර නිදහස් ව්‍යවසායකයකු ලෙස ගොඩනැඟීමට ආණ්ඩුව මැදිහත් වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එසේම දැනට වතු කම්කරුවන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති රුපියල් 1700ක වැටුප ස්ථීර කර ගැනීම සඳහා වතු සමාගම් සමඟ සාකච්ඡා කරමින් රජයක් ලෙස ඒ වෙනුවෙන් ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.

වසර 76ක් පුරා මාරුවෙන් මාරුවට බලයට පත් වූ පාලකයන් විනාශ කළ රටේ ආර්ථිකය පියවරෙන් පියවර ගොඩනැඟීමේ වැඩපිළිවෙළ මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ වත්මන් රජය ආරම්භ කර තිබෙන බව ද ජනාධිපතිවරයා කීය.

එසේම ජාතික ජන බලවේගය නැවත මේ රටේ ආර්ථිකය ගොඩනඟන්නේ යළි කිසිදු දිනක 2021, 2022 වසරවල ඇති වූ තත්ත්වය රට තුළ නිර්මාණය නොවන ආකාරයෙන් බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

Òපැරණි අසාර්ථක දේශපාලන කඳවුරු පරාජය කර පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළා. පසුව නොවැම්බර් 14 වැනිදා පැවති මහමැතිවරණයේදී මේ රටේ ජනතාව එක්වී ජාතික ජන බලවේගයට සුවිශේෂ ජයග්‍රහණයක් ලබා දුන්නා. දැන් මැයි 06 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. මෙම පළාත් පාලන ආයතන සියල්ලේම ජයග්‍රහණය ජාතික ජන බලවේගය අත්පත් කර ගන්නවා.

අපේ රටේ දේශපාලනයේ ඉතාමත් වැදගත් හැරවුමක් සිදුව තිබෙනවා. පවුල් කිහිපයක් විසින් දිගු කාලයක් පුරා අපේ රට පාලනය කළා. එහි ප්‍රතිඵලය බවට පත්වුණේ මුළුමනින්ම කඩා වැටුණු රටක්. නීතියක්, විනයක් නැති රටක්. හැම පැත්තෙන්ම අසාර්ථක වූ රටක් ඔවුන් නිර්මාණය කළා. ජනතාව දීර්ඝ කාලයක් මාරුවෙන් මාරුවට ඔවුන්ට ඡන්දය දී ඔවුන් දෙස බලා සිටියා. අනතුරුව වසර 76කට පසුව උතුරේ, නැඟෙනහිර, දකුණේ සියලු ජනතාව එක් වී ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැදුවා.

මේ මාස 06 තුළ අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන වැඩපිළිවෙළ සකස් කර ක්‍රියාත්මක කරමින් පවතිනවා.

අප සතුව තිබූ පළමු අභියෝගය වූයේ රටේ ආර්ථික ස්ථාවරභාවය ඇතිකිරීමයි. රටක් ඉදිරියට ගෙන යෑමට ආර්ථික ස්ථාවරභාවය අතිශය වැදගත් වෙනවා. මීට වසර දෙකහමාරකට පෙර අපේ රටේ තිබුණේ ඉතා අසාර්ථක, ස්ථීර නොවන නිරන්තරයෙන් කඩා වැටීමට ලක්වන ආර්ථිකයක්. නිදා ගන්නා විට ඩොලරයේ අගය එක් අගයක් ගත් අතර නැඟිටින විට තව අගයක් වෙලා තිබුණා. මේ අයුරින් අස්ථාවර ආර්ථිකයක් පැවතුණා. බැංකු පොලී අනුපාතය 30% – 35%ට ගියා. උද්ධමනය ඉහළ ගියා. එපමණක් නොවෙයි අපේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබූ විදේශ ව්‍යාපෘති සියල්ල දාලා ගියා. ඒ නිසා අනෙක් සියල්ලට පෙර රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ කාර්යය ඉටු කිරීමට අපට සිදු වුණා. මේ වනවිට සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට පැමිණ ඇති බව මම සතුටින් ප්‍රකාශ කරනවා.

ඒ වගේම රට තුළ ස්ථාවර වන ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට දීමට අපි මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. අස්වැසුම දීමනාව වැඩි කිරීම සහ අලුතින් පවුල් ලක්ෂ 04කට අස්වැසුම දීමට අපි කටයුතු කරනවා. අපි ජනතාව බලාගත යුතුයි. පාසල් ළමයින් ලක්ෂ 16කට මෙම ජනවාරි මාසයේ සිට පාසල් පොත් සහ උපකරණ දීම සඳහා අපි කටයුතු කර තිබෙනවා. සිසුන්ට පාසල් පොත් සහ උපකරණ ලබා ගැනීම සඳහා ආධාර කරන පළමු ආණ්ඩුව මෙයයි.

අපි ග්‍රාමීය දුප්පත් බව තුරන් කළ යුතුයි. දුප්පත් බව සමාජ ඛේදවාචකයක්. ඒ නිසා අපේ පාලන කාලය තුළ ලංකාවේ දුප්පත් බව තුරන් කිරීම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කළ යුතුයි. අපි ආකාර කිහිපයකින් ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා. දුප්පත්භාවයෙන් ගොඩඒම සඳහා දිගුකාලීන වුවත් ස්ථිර විසඳුමක් අධ්‍යාපනය තුළ තිබෙනවා. හොඳට ඉගෙනගෙන, හොඳ රැකියාවක් සොයාගතහොත් එම පවුලට දුප්පත්භාවයෙන් ගොඩඒමට හැකියාව තිබෙනවා. ඊට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි කඩිනමින් ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම කෘෂිකර්මාන්තය නංවාලීම කෙරෙහි අපි විශේෂ අවධානය යොමු කර තිබෙනවා. කෘෂිකර්මාන්තය නව තාක්ෂණය සමඟ බද්ධ කිරීම පිළිබඳ අපි ඉන්දියාව සහ චීනය සමඟ සහයෝගිතා ගිවිසුම්වලට එළැඹ තිබෙනවා. ඒ වගේම කඩා වැටී තිබෙන බීජ ගොවිපොළ නැවත ප්‍රතිසංස්කරණය කර, සාධාරණ මිලකට බීජ දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ගොවි ජනතාවට සාධාරණ මිලකට වල්නාශක සහ කෘමිනාශක දීමට අවශ්‍ය පියවර අපි ගන්නවා. ඒ වගේම එම ගොවි ජනතාවගේ දරුවන් නව ව්‍යවසායකයන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බවට පත්කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය බැංකු මඟින් සංවර්ධන ණයක් දීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය බැංකුවල සංවර්ධන ඒකකයක් හදලා අඩු පොලියට ඇපයක් රහිතව ණය මුදලක් දීමට අපි කටයුතු කරනවා. අපි එකතු වෙලා අලුත් පරම්පරාව වෙනුවෙන් අලුත් ආර්ථික ක්ෂේත්‍ර විවෘත කර දෙනවා. අපි ඒ සඳහා තානාපතිවරුන්ගේ සහාය ඉල්ලා තිබෙනවා. ඔවුන් සිටින රටවල වෙළෙඳපොළ අවස්ථා සොයා බලා මෙම වෙළෙඳ සබඳතා ගොඩනඟා දීමට අපි සූදානම්.

දුප්පත්භාවයේ පතුලේම ගිලී සිටින්නේ අපේ රටේ කඳුකරයේ ජනතාවයි. ඔවුන් විශාල ලෙස සෞඛ්‍ය අනාරක්ෂිතභාවයකින් පෙළෙනවා. අධ්‍යාපනයේ ඉතාමත් පහළ අඩියක පසුවෙනවා. ඔවුන් මේ රටේ පුරවැසියන්. ඔවුන් මෙරටට පැමිණ දැන් අවුරුදු 200කට වැඩි කාලයක් වෙනවා. මේ මහ පොළෙවේ ඉපිද මහ පොළොව සමඟ පොරබැද ජාතික ආර්ථිකයට දායකත්වය දී මේ මහ පොළොවේ මියැදෙන නමුත් ඔවුන් අපේ රටේ පුරවැසියන් ලෙස සලකන්නේ නැහැ.

ඉන්දීය රජයේ ණය ආධාර ක්‍රමය යටතේ මොවුන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ලැබී තිබෙනවා. එහෙත් තවමත් එහි කටයුතු අවසන් කිරීමට නොහැකි වී තිබෙනවා. අපි ඉතා ඉක්මනින් එම නිවාස ඉදිකිරීම සඳහා සුදුසු ඉඩම් හඳුන්වාදී එම නිවාස ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර එම ජනතාවට නිවාස දීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා.

ඒ වගේම වතු ජනතාවට සාධාරණ වැටුපක් ලැබිය යුතුයි. වතු සමාගම්වල වත්තෙන් කොටසක් එම වැඩ කරන අයට දීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදත් අපි වතු සමාගම් කිහිපයක් සමඟ සාකච්ඡා කළා. ඔවුන් එහි වැඩ කර කර්මාන්තශාලාවට තේ දලු දිය යුතුයි. වත්තට ගැට ගසා තිබෙන පුරවැසියා වත්තෙන් නිදහස් කරගෙන නිදහස් ව්‍යවසායකයකු සහ නිදහස් ගොවියකු ලෙස ගොඩනැඟිය යුතුයි. ඒ සඳහා නියමු ව්‍යාපෘතියක් අපි ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරනවා. එය අත්හදා බලා එය සාර්ථක නම් ඉදිරියටම ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම අපි දන්නවා වතුකරයේ වැටුප සාධාරණ වැටුප් තලයක නැහැ. අපි වතු සමාගම් සමඟ සාකච්ඡා කර දැනට ප්‍රකාශයට පත් කර ඇති 1700ක වැටුප ඉතා ඉක්මනින් ස්ථීර කර ගැනීම සඳහා රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. අපේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ රටේ පුරවැසියන් දුප්පත්භාවයෙන් නිදහස් කර ගැනීමයි. ඒ නිසා ජාතික ජන බලවේගය ආණ්ඩුව මේ රටේ ජනතාව දුප්පත්භාවයෙන් නිදහස් කර ගන්නා ආණ්ඩුව බවට පත් කරනවා.

ඒ වගේම අපේ රටේ සංචාරක කර්මාන්තයට විශාල විභවතාවක් තිබෙනවා. ඇල්ල සංචාරක පාරාදීසයක් බවට පත්ව තිබෙනවා. සංචාරක කර්මාන්තයේ විශේෂ කලාප තෝරාගෙන ඒ විශේෂ කලාපවල තිබෙන විශේෂ ගැටලු විසඳීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ගොඩනැඟීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම වසර ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන වසර බවට පත් කළ හැකි බවට වන සහතිකය අපි ඔබට ලබා දෙනවා.

ඒ වගේම මේ වසර ලංකාව වැඩිම අපනයන සිදු කරන වසර බවට පත් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එක්සත් ජනපදය සමඟ බදු ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට අපේ නියෝජිත කණ්ඩායමක් සූදානම්ව සිටිනවා. කෙසේ හෝ මෙම ගැටලුව රටට හිතකර අන්දමින් විසඳා ගැනීම සඳහා අපි උත්සාහ කරනවා. ඒ සමඟම ලංකාවේ වසරක් තුළ වැඩිම ඩොලර් ප්‍රමාණයක් වැඩිම අපනයන ආදායමක් උපයන වසර බවට 2025 වසර පත්කරගත හැකියි කියලා අපි ඔබට සහතිකයක් ලබා දෙනවා. නැවත වරක් අපේ රටේ ආර්ථික අර්බුදයක් සහ කඩාවැටීමක් නොවන ආකාරයෙන් වසරින් වසර ක්‍රමානුකූලව මේ රටේ ආර්ථිකය අපි ඉදිරියට ගෙන යනවා.

අද රටේ සියලුදෙනාටම නීතිය ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව බැඳී සිටිනවා. මේ රටේ සිදුවූ සියලු අපරාධ පිළිබඳ අද පරීක්ෂණ ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඉතා වැදගත්, රටම බලා සිටින පරීක්ෂණයක විමර්ශන දියත් වෙමින් තිබෙනවා. එහෙත් විමර්ශනයේ ඉදිරි පියවර ඉතාමත් සූක්ෂ්මව හා ප්‍රවේසම්සහගතව කළයුතුව තිබෙනවා. ඒ නිසා ඇතැම් කරුණු ඔබට දැන්ම දැන ගැනීමට නොහැකි වේවි.

විමර්ශන ඉතා හොඳින් සිදුවන බවට සහතිකය මට ඔබට ලබාදිය හැකියි. කට ඇරපු නැති අය දැන් කට අරින්න පටන්ගෙන තිබෙනවා. සාක්ෂි දීමට බයේ සිටි අය දැන් සාක්ෂි දීමට පටන්ගෙන තිබෙනවා. සම්බන්ධ නැහැ කියපු අයගේ සබඳතා හෙළිදරව් වෙමින් තිබෙනවා. ඒ නිසා විමර්ශන නිසි ලෙස සිදු වෙනවා. අපි මේ රටේ කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවට යටපත් වීමට ඉඩ නොතබා පුරවැසියන්ට සාධාරණය ඉටු කරන බවට මම සහතික වෙනවා.

ඒ නිසා අපි මෙම කටයුතු සාර්ථක කර ගනිමින් මේ රට ඉදිරියට ගෙන යෑමට නම් නගර සභා සහ පළාත් සභා ශක්තිමත් කරගත යුතුව තිබෙනවා. සොරකම් නොකරන මහජනතාවගේ මුදල් මහජනතාව වෙනුවෙන් පමණක්ම යොදවන පිරිසක් ඊට පත් කරගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් මෙම මැයි 06 වැනිදා ඔබ තම යුතුකම ඉටු කරනු ඇතැ’යි අපි විශ්වාස කරනවා.”

උපාලි කරුණාරත්න, චමීර ඇල්ලදෙණිය, සොරනාතොට සමූහ

ඡායාරූප – චන්න ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT