Home » පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන නිරීක්ෂණයට ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවන්න

පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන නිරීක්ෂණයට ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවන්න

-අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කියති

by sachintha
April 22, 2025 2:00 am 0 comment

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදු කෙරෙන වැඩිදුර විමර්ශන නිරීක්ෂණයට සහ නඩු පැවරීමට පූර්ණ බලතල සහිත ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කරන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ රජයෙන් ඉල්ලීමක් කළහ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සය වසරක් පිරීම සිහි කිරීමේ ප්‍රධාන වැඩසටහන කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී ඊයේ (21) පැවැති අවස්ථාවේදී උන්වහන්සේ මේ ඉල්ලීම කළහ.

හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂීම් අතර පැවැති සම්බන්ධතා පිළිබඳව චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කළ කරුණු පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ද උන්වහන්සේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියහ.

වින්දිත පවුල්වල සාමාජිකයන් එකතුකර කොටහේන සාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිට කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා යැදුම් පාගමනකින් පිරිස දේවස්ථානය දක්වා පැමිණි අතර පාස්කු දින ප්‍රහාරයේදි ජීවිතක්ෂයට පත් වූවන් සිහිකර විනාඩි දෙකක කාලයක් දේවස්ථානයේ සීනු නාද කෙරිණි.

පාස්කු දින ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ප්‍රකාශය පත් කිරීම මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සිදු කරනු ලැබූහ.

එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද කීහ.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයුතු නිවැරදිව පවත්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් දැඩි උනන්දුවකින් කටයුතු කරනු ලැබූව ද පරාජිත දේශපාලන බලවේග විසින් මෙහෙයවනු ලබන රාජ්‍යයක් රාජ්‍ය යන්ත්‍රණයේ සිටිමින් තවමත් ක්‍රියාත්මක වෙනවා.

ඒ බලවේග විසින් මේ පරීක්ෂණ කටයුතු යටපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් උනන්දුව, පරීක්ෂණ කටයුතුවලට අත ගසා ඒවා මෙහෙය වීමට උසස් නිලධාරින් කණ්ඩායමක් පත්කර ඇතත් පවතින නීති පද්ධතිය හා එය ක්‍රියාවට නැංවීම භාර ඇතැම් නිලධාරින්ගේ මන්දගාමී හැසිරීම් ඉදිරියේ එම කටයුතු විවිධ බාධක මධ්‍යයේ සිදු වන මට්ටමක් තිබෙනවා.

හිටපු ජනාධිපති සිරිසේන ඔහු පත් කළ ජනාධිපති කොමිසන් සභාව සිය වාර්තාව තුළ ප්‍රහාරය පිළිබඳ සිදු කරන විග්‍රහයේදී කරුණු දෙකක් ගැන විශේෂ අවධානය යොමු කළා.

පළමු කරුණ වන්නේ සිදුවීමට කෙළින්ම හවුල් වූ සහරාන් හා ඉස්ලාමීය අන්තවාදය අතර ඇති බැඳීම හා එහි පසුබිම සොයා පිළියම් යෙදිය හැකි යෝජනා මාලාවකට යොමු වීමයි.

දෙවැනි කරුණ වන්නේ ප්‍රහාරය ගැන ඉන්දීය රහස් ඔත්තු සේවය මේ සිද්ධීන්ට පෙර අවස්ථා කිහිපයකදී දැනුම්වත් කරනු ලැබුව ද එය වැළැක්වීමට කිසිදු පියවරක් නොගත් දේශපාලනික නායකයන්, පොලීසියේ හමුදාවේ නිලධාරින් සහ බුද්ධි අංශ මෙහෙයවන්නන්ගේ වගකීම පැහැර හැරීම් සහ දඬුවම් ලෙස නීති මාර්ගයෙන් කටයුතු කිරීමට නිර්දේශ කිරීමයි.

පසුගිය රජය සමයේ එම රජය මෙහෙයවූ අය කතෝලික සමුළුවේ බෙදීමක් ඇතිකර ළාමක අයුරින් ප්‍රශ්නයෙන් පැන යෑමට උත්සාහ කළ අයුරු ඉතාමත් කනගාටුදායක සහ බොළඳ ක්‍රියාවක් වෙනවා. මේ තත්ත්වය ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ඉදිරිපත් කිරීම ලජ්ජාසහගත හැසිරීමක් වෙනවා.

මේ ප්‍රහාරය ගැන ඉක්මන් හා කඩිසර විමර්ශනයක් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා මීට වඩා උනන්දුවකින් කටයුතු සිදු කරන්නට තිබුණා. පාස්කු ප්‍රහාරයට පසු එවකට නීතිපතිවරයා මේ ප්‍රහාරය පිටුපස මහා කුමන්ත්‍රණයක් ඇතැයි කළ ප්‍රකාශය වුව ද එය තුට්ටුවකට මායිම් කළේ නැහැ.

ජනතාව විසින් මේ පවතින රජයට අවශ්‍ය තුනෙන් දෙකක බලය ලබා දුන්නේ ශ්‍රී ලංකා දේශය ලෙයින් තෙත් කළ සමහර දේශපාලනික සහ දාමරික බලවේග හෙළිදරව් කරමින් මිනිස් ඝාතනය, අතුරුදන් කිරීම්, සුදු වෑන්, වධකාගාර, පාතාල ක්‍රියාකාරකම් පෞද්ගලික ක්‍රියාකාරකම් ආදියෙන් අප ඉතිහාසයට ඇති කළු පැල්ලමක් ඇති කළ පුද්ගලයන් හඳුනාගෙන නීතිය හමුවට ගෙන ඒමටයි.

මේ ප්‍රහාරය පිටුපස සිටි බලවේග හඳුනාගෙන සියලු දෙනා නීතිය හමුවට ගෙන එනු ඇතැයි මේ රජයෙන් බලාපොරොත්තු වෙනවා.

කිසිදා මෙවන් ප්‍රචණ්ඩකාරී තත්වයක් රට තුළ නිර්මාණය නොවෙන්නට හැකි වතාවරණය සකස් කරන්න අවශ්‍යයි. ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ ද මෙහිදී අදහස් දැක්වූහ.

 

නෙරංජලා වික්‍රමසිංහ

ඡායාරූප – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT