මියන්මාරය කේන්ද්‍ර කරමින් පසුගිය මාසයේ සිදුවූ භූ කම්පනයෙන් තායිලන්තයේ බැංකොක් නුවර ගොඩනැඟිල්ල මුළුමනින්ම කඩාවැටීමෙන් එරට ආර්ථිකයට අමෙරිකානු ඩොලර් බිලියනයක පාඩුවක් සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. තායිලන්ත ඉදි කිරීම් විශේෂඥයන්ගේ ඇස්තමේන්තුවට අනුව එම මූල්‍ය පාඩුවට හේතු සෙවීම සඳහා තවදුරටත් විමර්ශන කටයුතු පැවැත්වෙන බවත්, එහි ඉදිකිරීම් සඳහා භාවිත කර ඇති වානේ සංයුතිය සම්බන්ධව ගැටලු රැසක් හෙළි වී ඇති බවත් තායිලන්තයේ බැංකොක් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.
භූ කම්පනයෙන් බැංකොක් නුවර සෙසු ගොඩනැඟිලිවලට අවම හානියක් සිදුවීමත්, චීන ඉංජිනේරු සමාගමක් විසින් ඉදිකිරීම් භාරව සිටි මීටර් 137ක් උසැති ගොඩනැඟිල්ල පමණක් මුළුමනින්ම විනාශ වීමත් ආන්දෝලනයට තුඩුදුන් සිදුවීමක් බවට පත්වී ඇතැයි ද වාර්තා වේ.
භූකම්පනයේ ව්‍යවසනයට පෙර එම ගොඩනැඟිල්ලේ ඉහළ මහල් ඉදි කිරිමේදී ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමට තායි රජයේ ඉදිකිරීම් හා ඉංජිනේරු කාර්යභාර ආයතන අසමත්වී ඇතැයි ද, තායි රජයේ විගණන කාර්යාල මූලස්ථානය ලෙස ඉදිකරමින් පැවැති එම ගොඩනැඟිල්ලේ අධීක්ෂණ කටයුතු ඉදිකිරීම් රෙගුලාසි සහ දූෂණ විරෝධී ප්‍රතිපත්තියට අනුව සිදුනොවීම විමතියට කරුණක් වී ඇතැයි ද බැංකොක් පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ගොඩනැඟිල්ල කඩාවැටීමෙන් එහි සේවයේ නිරතව සිටි කම්කරුවන් 15 දෙනෙකු මියගිය අතර, තවත් 72 දෙනෙකු අතුරුදන් වූ බව වාර්තා වේ.