Home » පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති

පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති

by sachintha
April 22, 2025 1:00 am 0 comment

පාප් වහන්සේගේ ජීවන ගමන්මඟ

මුල් ජීවිතය

1936 දෙසැම්බර් 17 – ජෝර්ග් මාරියෝ බර්ගෝග්ලියෝ නමින් ආජෙන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවරදී උපත ලැබීය.

මූලික අධ්‍යාපනය – විල්ෆ්‍රිඩ් බාරොන් ඩි ලොස් සැන්ටෝස් ඒන්ජල්ස් විදුහල රාමොස් නුවර

උසස් අධ්‍යාපනය -එස්කියුලා තාක්ෂණ උසස් විදුහල බුවනෝස් අයර්ස් නුවර (රසායන විද්‍යා අංශය), උසස් විදුහල සාන්ත ෆේ නුවර

උපාධිය – රසායන ඉංජිනේරු උපාධිය/ දර්ශනවේදී උපාධිය

රැකියාව – රසායනාගාර තාක්ෂණවේදි / ආරක්ෂක නිලධාරි

පැවිදි ජීවිතය

1958 – ජේසු නිකායට ඇතුළත් වී සෙමනේරි අධ්‍යාපනය ලැබීම.

1969 – ජේසු නිකායික පූජකවරය ලබා රාමොස් නුවර අගරදගුරු පදවියට පත්වීම.

1973-79- ජේසු නිකායික උත්තරීතර පදවියට පත්වීම

1980 – සාන්ත මිගෙල් විශ්වවිද්‍යාලයේ දර්ශනය හා ධර්මය පිළිබඳ අධ්‍යයන පීඨයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම

1992- බුවනෝස් අයර්ස් නුවර අගරදගුරු පදවියට පත්වීම.

2001- දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් කාදිනල් පදවියට පත් කරනු ලැබීය.

2013 – ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නමින් වතිකානුවේදී ශුද්ධෝත්තම පදවියට තේරී පත්වීම.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කළේය. වතිකාන වේලාවෙන් ඊයේ උදෑසන 7.35ට කැසා සැන්ටා මාර්තාහි පිහිටි සිය නිවහනේදී පාප් වහන්සේ ස්වර්ගස්ත වූ බව වතිකානයේ කෙවින් ෆැරල් කාදිනල්තුමා නිවේදනය කළ බව වතිකාන් නිවුස් පුවත් සේවය වාර්තා කළේය. මියයන විට 88 හැවිරිදි වියෙහි පසුවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙරේදා වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයට සහභාගි වූ බවත්, පැමිණ සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන්ට සාම්ප්‍රදායිකව පාස්කු ආශීර්වාදය ලබා දුන් බවත් වාර්තා වේ.

ශ්වසන ආබාධයක් හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ 14 වැනිදා රෝමයේ ජමේලි රෝහලට ඇතුළත් කළ පාප් වහන්සේ දින ගණනාවක් බරපතළ රෝගී තත්ත්වයෙන් පසුවූ අතර, ද්විත්ව නියුමෝනියා රෝගයට ද ගොදුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දින 38ක් රෝහලේගත කිරීමෙන් පසු තරමක සුවයක් ලබා නැවත වතිකානයට පැමිණි පාප් වහන්සේ ඔක්සිජන් ලබා ගැනීම සඳහා අඛණ්ඩව කැනියුලා උපකරණය පැලඳ සිය නිවහනේ විවේකීව කාලය ගත කළ බවත්, එම කාලය අතරතුර උන්වහන්සේ ආගමික කටයුතුවලින් මඳක් ඈත්වී සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. කෙසේ වුවද පාස්කු සතිය සහ ප්‍රධාන පාස්කු දේව මෙහෙයන් සඳහා පාප් වහන්සේ වරින් වර එක් වූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගිය පාස්කු ඉරිදා පාප් වහන්සේ ජනතාව ඉදිරියේ පෙනී සිටි අතර, උන්වහන්සේගේ දේශනය සහායකයකු විසින් කියවනු ලැබූ බවද වාර්තා වේ. එහෙත් එම දේශනය අතරතුර ජනතාවට ආශීර්වාදය කිරීමට සහ පාප කර්මයට සමාව දීමේ ආශිර්වාදය සඳහා වරින් වර උන්වහන්සේ පැලඳ සිටි කැනියුලාව ඉවත් කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සෞඛ්‍ය තත්ත්වය අයහපත් තත්ත්වයක පැවතියද, ‘සහෝදර සහෝදරියනි, සුබ පාස්කුවක්‘ යැයි දුර්වල හඬින් ජනතාවට ආශිර්වාදය කළ පාප් වහන්සේ මහජනතාව හමුවේ පෙනී සිටීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරනු ලැබූ උන්වහන්සේගේ රථයේ සිට ජනතාවට ආචාර කළ බවත්, රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමෙන් පසු පාප් වහන්සේ ජනතාවට ආචාර කළ පළමු අවස්ථාව එය වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පාස්කු සතියේ උණුසුම මධ්‍යයේ අමෙරිකාවේ උපජනාධිපති ජේ.ඩී.වැන්ස් වතිකානයේ සංචාරයකට එක්වී සිටි අතර, වතිකානයේ පාස්කු දේව මෙහෙයට එක්වීමට පෙර පාප් වහන්සේ සහ අමෙරිකානු උපජනාධිපතිවරයා අතර පෞද්ගලික සාකච්ඡාවක් පැවති බව ද වාර්තා වේ. ඒ අනුව අමෙරිකානු උපජනාධිපතිවරයා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමට පෙර අවසන් වරට මුණගැසුණු රාජ්‍යතාන්ත්‍රිකයා ද විය. ජේඩී වැන්ස් මුණ ගැසීමෙන් පසු උන් වහන්සේ සාන්ත පීතර බැසිලිකාවේ සඳළුතලයේ පෙනී සිටිමින් ජනතාවට ආශීර්වාද කළ බව ද වාර්තා වේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමේ පුවත ඇසීමෙන් දැඩි කම්පනයට පත්වූ බව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු උපජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර, පාප් වහන්සේට ආදරය කළ ලොව පුරා කතෝලික බැතිමතුන්ට සිය හෘදයංගම ශෝකය ප්‍රකාශ කරන බව එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහන් කර තිබේ. පැහැදිලි ලෙසම රෝගී තත්ත්වයේ පසුවුවද පාප් වහන්සේ දැකීමට සහ කතාබහ කිරීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් ලෙස සලකන බවත් ජේඩී වැන්ස් ප්‍රකාශ කර තිබේ. ධවල මන්දිරය ද නිල නිවේදනයක් නිකුත් කරමින් පාප් වහන්සේ වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු උපජනාධිපතිවරයා වතිකානයේ සංචාරයකට එක්වූයේ සංක්‍රමණිකයන් සම්බන්ධව ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය පාප් වහන්සේ විසින් දැඩි ලෙස විවේචනය කිරීම හේතුවෙන් බවත්, ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව උන්වහන්සේට පැහැදිලි කිරීම උපජනාධිපතිවරයාගේ අරමුණ වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අමෙරිකානු ජනාධිපතිවරයා සංක්‍රමණිකයන් පිටුවහල් කිරිමට නියෝග කිරීම අශීලාචාර සහ අප්‍රසන්න තීරණයක් බව පාප් වහන්සේ ප්‍රකාශ කර තිබිණි. වසර 2016 පළමුවරට ජනපතිධුරයට තරග වැදුණු අවස්ථාවේදීද මෙක්සිකෝව වෙන් කරමින් දැවැන්ත තාප්පයක් ඉදි කරන බව ප්‍රකාශ කිරීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පාප් වහන්සේගේ දැඩි විවේචනයට ලක් විය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉතිහාසයට එක්වූයේ ලොව දකුණු අර්ධගෝලයෙන් තේරී පත්වූ පළමු පාප් වහන්සේ ලෙසිනි. එමෙන්ම වසර 1,300කට ආසන්න කාලයක් තුළ පාප් වහන්සේ ලෙස තේරී පත්වූ යුරෝපීය නොවන පළමු පුද්ගලයා ලෙසත්, ජේසු නිකායට අයත් පළමු සාමාජිකයා ලෙසත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉතිහාසගත වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වසර 2015 ජනවාරියේ මැද භාගයේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට ද එක්වූ අතර, ශ්‍රී ලංකා සංචාරය අතරතුර උන්වහන්සේ ජුසේ වාස් මුනිඳු ශාන්තුවරයකු ලෙස නම් කරනු ලැබූහ.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT