කසළ ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර වන සමාජ ගැටලුවක් බවට පත් වෙමින් තිබෙන යුගයක කසළ ලෙස බැහැර කරන ඇතැම් ද්‍රව්‍යවලින් කොතරම් විශ්මිත දෑ කළ හැකිද යන්න පසක් කරවන පර්යේෂණ පිළිබඳව අපට අසන්නට ලැබේ. ඉවතලන කෙසෙල් අපද්‍රව්‍යවලින් සිදු කළ හැකි නවමු නිපැයුම් සම්බන්ධව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් සිදු කළ නවතම පර්යේෂණයක් සාර්ථක ප්‍රතිඵල සහිතව අවසන් කරන ලදි.
කෙසෙල් අපද්‍රව්‍ය වැඩි වශයෙන් එකතු වන මහජන පොළ සහ ආර්ථික මධ්‍යස්ථානවල එම ගැටලුවට විසඳුමක් ලෙස ද මෙම පර්යෙෂණ ප්‍රතිඵලය අර්ථ දැක්විය හැකි අතර පරිසර හිතකාමි යෙදවුම් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා වූ ඉදිරි පියවරක් ලෙස ද මෙය හැඳින්විය හැකිය.
ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය සිය පර්යේෂණ ක්ෂේත්‍රයේ නව පියවරක් තබමින් ඉවතලන කෙසෙල් වහල්ල සහ කෙසෙල් පත්‍රවලින් නවමු නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට සමත් වී තිබේ. මෙලෙස කෙසෙල් ආශ්‍රිත වෙළෙඳපොළ තුළ ඇති වී තිබෙන අපද්‍රව්‍ය එක්රැස් වීමේ ගැටලුවට විසඳුමක් ලෙස එය ඵලදායී ලෙස නිෂ්පාදන කර්මාන්ත සඳහා යොදා ගැනීමට ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ ආහාර තාක්ෂණ පර්යේෂණ අංශ ප්‍රධානි, ප්‍රධාන පර්යේෂණ නිලධාරි ආචාර්ය නිලන්ති විජේවර්ධන මහත්මියගේ අදහසකට අනුව රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පර්යේෂිකාවකගේ ද සහය ඇතිව සිදු කළ පර්යේෂණයකට අනුව ආහාර ඇසුරුම්කරණය සඳහා සුදුසු ආකාරයේ ඇසුරුම් අමුද්‍රව්‍ය හා ඇසුරුම් නිර්මාණය සඳහා අවධානය යොමු කොට ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍යයට තොරුතුරු අනාවරණය කරමින් මෙම ආයතනයේ ප්‍රධාන පර්යේෂණ නිලධාරිනී ආචාර්ය නිලන්ති විජේවර්ධන මිය මෙම නවතම පර්යේෂණය පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කළාය.
මෙම කෙසෙල් අපද්‍රව්‍යයන්හි විවිධ නිෂ්පාදන සඳහා යොදාගත හැකි ගුණාංග රැසක් පවතිනවා. කෙසෙල් වහල්ල හා කෙසෙල් පත්‍ර ගත් විට එය ඉතාමත් ගුණාත්මයකින් යුතු තන්තු ප්‍රභවයක් වන අතර සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, ලිග්නින් හා පෙක්ටීන් වැනි සංඝටකයන්ගෙන් පරිපූර්ණයි. දැනට සිදු කර ඇති පර්යේෂණවලට අනුව කෙසෙල් ආශ්‍රිතව මුදා හැරෙන අපද්‍රව්‍ය යොදාගෙන විවිධ නිෂ්පාදන සිදු කරන අතර ඒවා සමහරක් ලෙස පොහොර, රෙදිපිළි, කඩදාසි, අත්කම් භාණ්ඩ, ඇසුරුම් ආදීය ගෙනහැර දැක්විය හැකියි.
ප්ලාස්ටික්, පොලිතීන් වැනි ඇසුරුම් භාවිතයෙන් සිදුවන පරිසර හානිය පිළිබඳ සැලකූ විට මෙවැනි විකල්පයන් ඉතාමත් පරිසර හිතකාමි යෙදවුම් වේ. කෙසෙල් නටුව හා ඉවතලන කෙසෙල් පරඬැල් (පත්‍ර) ද ඉතාමත් ඵලදායී ලෙස නිෂ්පාදන කර්මාන්තය සඳහා යොදාගත හැකි අගනා අමුද්‍රව්‍ය බව ප්‍රධාන පර්යේෂණ නිලධාරිනී ආචාර්ය නිලන්ති විජේවර්ධන මිය වැඩිදුරටත් කියා සිටියාය.
මේ යටතේ විවිධ ආකාරයේ කඩදාසි, පලතුරු ඇසුරුම් කිරීම සඳහා පාරිභෝගික ඇසුරුම්, මෙන්ම සැකසූ ආහාර හා බීම වර්ග ඇසුරුම් කිරීම සඳහා යෝග්‍ය වූ විවිධ ඇසුරුම් නිර්මාණය කිරීමට එම ආයතනය සමත්ව ඇත. මෙහිදී මෙම කඩදාසිවල ශක්තිමත් බව හා ආකර්ෂණය වැඩි දියුණු කිරීම සඳහා විශේෂිත ක්‍රම හඳුන්වා දී ඇත. දැනට මෙම නිෂ්පාදන ගෘහස්ථ මට්ටමින් සකසා ගැනීම සඳහා ප්‍රමාණවත් වන තාක්ෂණය රසායනාගාරය තුළ වැඩිදියුණු කොට ඇති අතර ඒවායේ ගුණාත්මය ඉහළ නැංවීම සඳහා විවිධ යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම පිළිබඳව ද පශ්චාත් අස්වැන්න පිළීබඳ තාක්ෂණ ආයතනය සිය අවධානය යොමු කර තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය නිලන්ති විජේවර්ධන මහත්මිය පැවසුවේ මෙහි තාක්ෂණික ක්‍රියාවලිය සහ නිෂ්පාදන සම්බන්ධයෙන් වැඩිදුරටත් දැන ගැනීමට අවශ්‍ය නම් තම අයතනයෙන් ඒ සඳහා විමසීම් කළ හැකි බවයි.
සකුන්තලා ජයසිංහ
අඹන්පොළ විශේෂ