Home » ධනවත් රටවල් නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹෙයි
ලෝක වෙළෙඳපොළ යුද්ධයේ අලුත් මුහුණුවර

ධනවත් රටවල් නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹෙයි

-වියට්නාමයෙන් වෙළෙඳපොළ ජයගැනීමේ ආදර්ශ ගත හැකියි

by sachintha
April 22, 2025 2:01 am 0 comment

 

ලෝක වෙළෙඳ යුද්ධය අලුත් මුහුණුවරක් ගෙන තිබේ. ඊට අදාළ නිදර්ශන කිහිපයක් ගැන අපගේ අවධානය යොමු කිරීම වටී. යුරෝපා සංගමය හා අමෙරිකාව බදු පිළිබඳ නව ප්‍ර‍ෙව්ශයකට සූදානම් බව පෙනෙයි. ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෙනි හා ට්‍රම්ප් අතර සාකච්ඡාව ඊට සාක්ෂියක් ලෙස පවතියි. මේ සාකච්ඡාවෙන් පෙනී යන්නේ ධවල මන්දිරයේ නිලධාරීන් හා යුරෝපා සංගමයේ ඉහළ කළමනාකාරීත්වය ළඟදීම හමුවීමට නියමිත බවය. මේ අතර චිනය සඳහා තවත් වටයකින් තීරු බදු ඉහළ දැමීමට ට්‍රම්ප් තීරණය කර තිබේ. එය 245%ක තීරු බද්දකි. තෝරාගත් භාණ්ඩ සඳහා එබඳු තීරු බද්දක් අය කිරීම ට්‍රම්ප්ගේ තීරණය වෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අමෙරිකානු ප්‍රාන්ත අධිකරණයක් නඩු මාර්ගයට ප්‍රවේශ වී ඇත. එම ප්‍රාන්ත අධිකරණයේ තර්කය වන්නේ අමෙරිකන් ජනාධිපතිවරයාට අභිමත පරිදි බදු ප්‍රතිපත්ති සැකසීමට හා ඒවා ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති බවය. මෙය අමෙරිකාවේ බුද්ධිමතුන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ද දැඩි අවධානයට ලක් වී ඇති කාරණයකි. මේ අතර චීනය උපායමාර්ගිකව අමෙරිකන් බදු ප්‍රතිපත්තියට මුහුණ දෙන බවක් දැකගත හැකිය.

(I) අමෙරිකන් ආනයන සීමා කිරීම

(II) ආසියාවේ වෙනත් රටවල් සමඟ වෙළෙඳ සබඳතා ඇතිකර ගැනීම

(III) නිදහස් වෙළෙඳාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලෝකයේ සෙසු රටවලට හා සංවිධානවලට ආරාධනා කිරීම.

චීනය, අමෙරිකාවට ගෞරව කළ යුතු යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කළද, චීන නායකයා එම තර්ජන ගණනකට ගන්නේ නැත. අවම වශයෙන් පිළිතුරු දීමට හෝ ඉදිරිපත් වන්නේ නැත. චීනයේ ස්ථාවරය පැහැදිලි කරන්නේ එරට වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය. ඔවුනට අනුව; චීනය තර්ජනවලින් බියගැන්විය නොහැකිය. එලෙසම ඕනෑම සාකච්ඡාවකට ද සූදානම්ය. චීන නියෝජිතයන් වියට්නාම නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඇත. අග්නිදිග ආසියාවේ සාකච්ඡා මැලේසියාවෙන් පටන්ගෙන තිබේ. මේ වනවිට ද චීනය සමඟ ගනුදෙනු කිරීමට ලොව රටවල් ගණනාවක් උනන්දු වෙයි. ඇතැම් රටවල් ගිවිසුම් අත්සන් කිරීමට ද ඉදිරිපත් වී සිටියි.

බුද්ධිමත් ප්‍රතිචාර

මේ වෙළෙඳ යුද්ධයේදී බුද්ධිමත් ලෙස ඊට ප්‍රතිචාර දක්වන අනෙක් රාජ්‍යය වන්නේ අපේ අසල්වැසි ඉන්දියාවය. මේ අර්බුදය යටතේ වුව ඉන්දියාව සිය අපනයන ක්ෂේත්‍රය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යයි. 24/25 කාලපරිච්ඡේදයෙහි අපනයන ක්ෂේත්‍ර‍ෙය් වර්ධනය 5.5%ක් ලෙස සටහන් වී ඇත. කෘෂිකාර්මික හා කාර්මික යන දෙඅංශයෙන්ම අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කිරීම ඉන්දියාවේ ඉලක්කය වී තිබේ. කෝපි, දුම්කොළ, සහල්, කිරි නිෂ්පාදනය අතින් ඉහළ දියුණුවක් ලබාගැනීමට ඉන්දියාව සමත් වී ඇත. පසුගිය කාලය තුළ වරින්වර ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ මතුවූයේ වුව එය කළමනාකරණය කරගැනීමට ඉන්දීය රජය සමත් විය. ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හා රථවාහන ක්ෂේත්‍ර‍ෙය් නිෂ්පාදන අතින් ශීඝ්‍ර වර්ධනයක් තහවුරු කරගැනීම ඉන්දියාවේ ඊළඟ පියවර වී ඇත. ඉන්දියාව අමෙරිකාවේ හොඳ හිත ආරක්ෂා කරගෙන ඇති අතර චීනය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. ඉදිරි වසර තුළ අමෙරිකාව සමඟ කරන ගනුදෙනු 11.9%කින් වර්ධනය කරගැනීමට ඉන්දියාව සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ වෙළෙඳපොළ ඉලක්ක කරගෙන අපනයන ක්ෂේත්‍රය දියුණු කළ යුතු බව ද, ඉන්දියාවෙන් ආර්ථික වර්ධනය ගැන පාඩම් උගත යුතු බව ද බොහෝ දෙනෙක් පෙන්වා දෙති. එය නිවැරැදි තීරණයකි. බුද්ධිමත් තෝරාගැනීමකි. අපේ රටේ අබිමුව ඇති විශාල වෙළෙඳපොළ ඉන්දියාව බව අමතක නොකළ යුතුය.

ආර්ථික විශේෂඥයන්ගේ මතවලට අනුව 1930 ගණන්වලදී මෙන් ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමට හොඳටම අවස්ථාව තිබේ. රටවල් ගණනාවක කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටී ඇත. ආයෝජන අවුල් වී ඇත. නිෂ්පාදන කර්මාන්ත දැඩි කම්පනයකට ලක්වී ඇත. රටවල් 75ක් අමෙරිකාව සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගැනීමට ඉදිරිපත් වී සිටියි. ඒ සඳහා මාස තුනක් හෙවත් දින අනූවක් අමෙරිකාව ලබාදී ඇත. එම කාලය තුළ අලුත් බදු ක්‍රියාත්මක වන්නේ නැත. බරපතළ අසීරුතාවකට ලක්වී ඇත්තේ මේ වනවිටත් ආර්ථික පසුබෑමකට ලක්වී ඇති රටවල්ය. නිදසුනක් ලෙස ආර්ජන්ටිනාව නම් කළ හැකිය. දරුණු ආර්ථික කඩාවැටීමකට මුහුණ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙතින් ඩොලර් බිලියන 20ක ණය මුදලක් ඉල්ලා සිටින ආර්ජන්ටිනාවට එය ලබාදිය හැකි ද යන්න ගැටලුවකි.

මේ වනවිටත් ඩො. බි. 44ක් ණය වී ඇති ආර්ජන්ටිනාව ණය ගෙවා දමන්නේ කෙසේද? ආර්ථිකය ස්ථාවර කරගන්නේ කෙසේද? ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ආර්ථික විශේෂඥයකු ලෙස සලකන්නේ වුව, රටේ උද්ධමනය සැලකිය යුතු මට්ටමකින් පහළට ගෙන ගොස් ආර්ථික වෘද්ධියක් සටහන් කර ගැනීමට තවම සමත් වී නැත. මේ තත්ත්වය යටතේ රට පුරා උද්ඝෝෂණ රැල්ලක් ක්‍රියාත්මක වෙයි. රට තවදුරටත් ඇදවැටෙමින් පවතී.

රන් මිල ශීඝ්‍ර‍ෙයන් ඉහළ යෑම, ඩොලරයේ වටිනාකම පහළ යෑම, වරාය කටයුතු හා නැව් ගාස්තු වෙනස්වීම, කොටස් වෙළෙඳපොළ දුර්වල වී මූල්‍ය ගනුදෙනු විකෘති වීම, රැකියා අවදානමක් මතුවීම, බොරතෙල් මිල පහළ යෑම, ලෝක ආර්ථිකයේ කම්පනය පෙන්වා දෙන විශේෂ ලක්ෂණ ලෙස පවතියි. මේ අතර ජීවන වියදම ශීඝ්‍ර‍ෙයන් ඉහළ යන්නටත් ශ්‍රම වෙළෙඳපොළ නොසන්සුන් වෙන්නටත් පටන්ගෙන තිබේ. ලෝක වෙළෙඳ සංවිධානය වෙත පැමිණිලි ගලා එන්නට පටන්ගෙන ඇත්තේ අමෙරිකාවේ බදු ප්‍රතිපත්තියට එරෙහිවය. එහෙත් ලෝක වෙළෙඳ සංවිධානයට, ලෝක බැංකුවට හෝ වෙනත් ජගත් සංවිධානයකට හෝ කළ හැකි දෙයක් නැත.

නවසීලන්තය, එංගලන්තය, කැනඩාව වැනි ධනවත් රටවල් අලුත් සංවාදයක් ඇති කරගනිමින් නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමට යන බවක් පෙනෙයි. රුසියාවට අමෙරිකාවේ නව බදුවලින් අමුතු බලපෑමක් සිදු නොවන්නේ මේ වනවිටත් ආර්ථික සම්බාධක පනවා ඇති බැවිනි. ඉරානයේ තත්ත්වය ද ඊට සමානය. ජපානය, චීනය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව අලුත් ආර්ථික එකඟතාවලට යොමුවෙමින් සිටින බවක් පෙනෙයි. මේ අතර ලෝකයේ හතරවන ඇඟලුම් නිෂ්පාදකයා හා නිර්යාතකයා වන වියට්නාමය වැඩසටහන් ගණනාවක් ඔස්සේ තම ඇඟලුම් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි. වියට්නාමයෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට ආදර්ශ ගණාවක් ලබාගත හැකිය. වියට්නාමය ගෙන ඇති ආරක්ෂාවාදී වැඩසටහන් මොනවාද?

(I) ධවල මන්දිරය සමඟ සාකච්ඡා කිරීම. (වියට්නාමයේ උප අගමැතිවරයා ප්‍රමුඛ දූත පිරිසක් මේ වනවිටත් අමෙරිකාවට ගොස් සිටිති.

(II) 2035 වනතුරු සිය කර්මාන්තයෙහි ස්ථාවරත්වය සඳහා සැලසුම් සකස් කිරීම.

(III) නව වෙළෙඳපොළ හඹා යෑම හා අලුත් ගිවිසුම් පිළිබඳ නිරීක්ෂණය කිරීම.

(IV) නව නිෂ්පාදන කෙරෙහි යොමුවීම හා තාක්ෂණයෙන් උපරිම පල නෙළා ගැනීම (ඇඟලුම් කර්මාන්තයට නව තැනක් දීම)

(V) අපනයන විවිධාංගීකරණයකට යොමුවීම හා ආයෝජකයන්ට සහන සැලසීම. එලෙසම ශ්‍රමිකයන් පිළිබඳ සොයා බැලීම හා ඔවුන් තුළ විශ්වාසය ගොඩනැඟීම.

(VI) සිය අපනයන කෙරෙහි මෙන්ම නිෂ්පාදන කර්මාන්ත කෙරෙහි නව සැලසුම් ඇති කිරීම හා වෙළෙඳපොළ තත්ත්වයන් සොයා බැලීම සඳහා ආයතන ගණනාවක් පිහිටුවා ඇත. ලෝක වෙළෙඳපොළ ඇතුළුව එම ආයතනවල නිරන්තර අවධානයට යොමු වෙයි.

උපායමාර්ගික වැඩසටහන්

වියට්නාමය ගෙන ඇති පියවර සාර්ථක ද? අසාර්ථක ද? යන්න පිළිබඳ නිශ්චිත අදහසක් දැන්ම ඇතිකරගත නොහැකිය. ඒ සඳහා තව කාලයක් ගතවනු ඇත. එහෙත් ඔවුන් නව ලෝක තත්ත්වයන්ට මුහුණදීම සඳහා දරන ප්‍රයත්නය අගය කළ යුතුය. එබඳු ප්‍රයාමයකින් තොරව වෙළෙඳපොළ ජය ගැනීම හා ආර්ථිකය ස්ථාවර මට්ටමකට තබාගැනීම අසීරුය.

මේ අතර ආර්ථික විශේෂඥයන් ප්‍රකාශයට පත්කර ඇති තවත් වැදගත් මත දෙකක් තිබේ.

(I) ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය දීර්ඝකාලීන ලෙස පවත්වාගැනීම අසීරුය. එය වෙනස් කිරීමට සිදුවේ.

(II) වෙළෙඳ යුද්ධයකින් හෝ තරගයට තීරු බදු පැනවීමෙන් හෝ කිසිවකුට ලාභ උපරිමය කරගත හැකි නොවේ. එබඳු ප්‍රයත්නයකදී සිදු වන්නේ ගෝලීය වශයෙන් ආර්ථිකය කඩා වැටීමක් ඇතිවීම පමණි. දැනටම එහි කම්පනය ධනවත් රටවලට දැනෙන්නට පටන්ගෙන තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ Gread America again යන්නය. ඒ අනුව කරුණු කිහිපයක් වටහා ගත හැකිය. එක් අතෙකින් අමෙරිකාවේ අභිමානය, නායකත්වය, ආධිපත්‍යය හා ලාභය නැවත ගොඩනඟා ගැනීම සඳහා ට්‍රම්ප් ගෙන යන උපායමාර්ගික දේශපාලන වැඩසටහන් ලෙස නව බදු ප්‍රතිපත්තිය හා ලෝක ආධාර කපා හැරීම පෙන්වා දිය හැකිය. ගෞරවය හා අභිමානය පිළිබඳ ගැටලුවක් ද ජනාධිපතිවරයාට තිබේ. ඔහු චීනය දෙසට ඇඟිල්ල දිගුකර කියා සිටින්නේ චීනය, අමෙරිකාවට ගෞරව කළ යුතු බවය. ට්‍රම්ප් සම තත්ත්වයේ පසුවීමට කැමැති නැත. සෙසු රටවල් අමෙරිකාව අබිමුව දණින් වැටී යමක් ඉල්ලා සිටිය යුතුය. ට්‍රම්ප් සැබෑවටම එබඳු රටවලට හා සංවිධානවලට සහන ලබාදෙන බව පෙනී යයි. මේ තත්ත්වය වටහාගෙන ඇති කැනඩා නායකයා නව වටයකින් අමෙරිකාව සමඟ සබඳතා ඇති කරගැනීමට උත්සුක වන බව පෙනෙයි. ඉන්දියාව ද අමෙරිකන් ජනාධිපතිවරයා කියවාගෙන ඇත්තේ තමන්ට වාසිදායක අයුරින් බව පෙනී යයි.

දින 90ක බදු සහන කාලය ශ්‍රී ලංකාව වැනි රටවලට සුවිශේෂ ප්‍රතිලාභයක් සේ පෙනී යයි. එහෙත් මේ කාලය ඉතා ඉක්මනින් ගෙවී යන බව මතක තබාගත යුතුව තිබේ. අපගේ ප්‍රධාන නිර්යාතය වන ඇඟලුම් සඳහා ශක්තිමත් ඉදිරි වැඩසටහනක් සැලසුම් කර නැත. ඒ අනුව අවදානම පැතිකඩ කිහිපයකින්ම කඩා වදිනු ඇත. මේ වනවිටත් ඇඟලුම් ක්ෂේත්‍රයට ඇතුළත් ශ්‍රමික ප්‍රජාව නොසන්සුන් බව කිවයුතුය. වැලිගම ඇඟලුම් කම්හලක ඇති වූ බෝනස් අර්බුදය වුව පැහැදිලි කරන්නේ ඇඟලුම් සේවකයන් තම කර්මාන්තය ගැන විශ්වාසයකින් පසුනොවන බවය.

ධවල මන්දිරය සමඟ සාකච්ඡා

තවත් පැත්තකින් ඇඟලුම් කර්මාන්තකරුවන් අමෙරිකන් බදු ප්‍රතිපත්තියට මුවා වී අයුතු වාසි ලැබීමට උත්සාහ කරනු බවක් ද පෙනී යයි. මේ සියල්ල පැහැදිලි තැනකට ගෙන යා යුතුව තිබේ. ඊට ශක්තිමත් වැඩසටහනක් තිබිය යුතුය. රජය සර්වපාක්ෂික සමුළුවක් කැඳවමින් මීට අවශ්‍ය යෝජනා ලබාගැනීම වැදගත්ය. මෙය ජාතික අර්බුදයක් බැවින් දේශපාලන භේද නොසලකා අර්බුදයට මැදිහත්වීම වැදගත් බව කිවයුතුය. මෙහිලා සැලකිල්ල යොමු කළ යුතු සාධක කිහිපයක් පෙන්වා දිය හැකිය.

(I) ධවල මන්දිරය සමඟ වහාම සාකච්ඡා ආරම්භ කළ යුතු ය. ඒ සඳහා සුදුසු නියෝජිත පිරිස්, කණ්ඩායමක් අමෙරිකාව බලා පිටත් කළ යුතුය. මේ කණ්ඩායම විශේෂඥයන්ගෙන් සමන්විත වීම වඩා වැදගත්ය.

(II) අලුත් වෙළෙඳපොළ සොයා යෑම වැදගත්ය. වැදගත්ම වෙළෙඳපොළ අසල්වැසි ඉන්දියාව බව අවධාරණය කිරීම වැදගත්ය.

(III) නිර්යාත විවිධාංගීකරණය සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.

(IV) යුරෝපා සංගමය ලබාදෙන G.S.P.+ සහනය ගැන ඉක්මන් පියවරක් ගතයුතුව තිබේ. එය ලබන වසර මුලදී අවසන් වීමට නියමිතය. G.S.P.+ සහනය රටවල් ගණනාවකට අහිමි වෙයි. එම රටවල් ද හදිසි පියවර ගෙන සහන පතා වෙළෙඳපොළට යන විට තරගය තීව්‍ර වෙයි.

(V) කර්මාන්තකරුවන් රට හැර යෑම වළක්වාගත යුතුය. එලෙසම ශ්‍රමිකයන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීම අතිශය වැදගත්ය. මේ සඳහා තිරසර වැඩපිළිවෙළක් තිබිය යුතුය.

1990 ගණන්වලදී ඇඟලුම් කෝටා පිළිබඳ ප්‍රශ්නය කිහිපවරක්ම මතුවිය. මෙහිදී ඇතැම් කර්මාන්තකරුවන්ගේ පෞද්ගලික මැදිහත්වීම මත විදේශ සංචාරවල නිරතවෙමින් තම පෞද්ගලික සම්බන්ධතාවලට අනුව කෝටා ලබාගත් බව ද අලුත් වෙළෙඳපොළ සොයාගත් බව ද අපට මතකය. එබඳු විභව ශක්තීන් මේ කර්මාන්තයේ අභිවර්ධනය උදෙසා යොදාගත යුතුය.

1990 ගණන්වල ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ආර්ථික විශේෂඥයකු පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවට අවශ්‍ය මහා වෙළෙඳපොළ රට එළිපත්තේම ඇති බවය. ඒ මහා භාරතය හෙවත් ඉන්දියාවයි. ලොව ජනගහනය අධිකම රාජ්‍යය ඉන්දියාවයි. සමස්ත ජනගහනය කෝටි 140ට වැඩිය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වර්තමානයේ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉතා වැදගත්ය. එයින් උපරිම ප්‍රතිඵල නෙළාගත හැකි තැනකට යා හැකි නම්, අපේ අපනයන ක්ෂේත්‍රය ස්ථාවර මට්ටමකට ගෙන යෑම කෙටිකාලයක් තුළ ඉටුකර ගත හැකිය. ඉන්දියාව අපේ හොඳම වෙළෙඳපොළ වෙයි.

රන්ජන් අමරරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT