Home » වීරයන් සහ ද්‍රෝහීන් මාරු වීම

වීරයන් සහ ද්‍රෝහීන් මාරු වීම

by sachintha
April 22, 2025 1:01 am 0 comment

ජාතික වීරයකු යන්නෙහි අදහස මුළුමහත් ජාතියේම ගෞරවාදරයට පාත්‍ර වන පුද්ගලයකු යන්නයි. එලෙස කිසියම් අයකුට ජාතික වීරයකු ලෙස නාමකරණය වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා ඔහු හෝ ඇය සමස්ත ජාතියේම ඇගයීමට ලක් වන, සමස්ත ජන වර්ගයාගේම ගෞරවාදරයට පාත්‍ර වන කිසියම් සමාජ කටයුත්තක නිරත වී සිටිය යුතු ය. එලෙස ජාතික වීරයකු ලෙස නාමකරණය වන අයකු පිළිබඳව ජන සමාජයෙන් කිසිදු ප්‍රතිවිරෝධයක් එල්ල වන්නේ ද නැත.

ජාතික වීරයන් පිළිබඳ තොරතුරු පාසල් විෂය නිර්දේශවලට ඇතුළත් කරනු ලබන්නේ ඔවුන් පරමාදර්ශි චරිත ලෙස අනාගත පරපුර විසින් අධ්‍යයනය කරනු ලැබිය යුතු හෙයිනි.

යටත්විජිතවාදී අරගලයේ සිට මවුබිමට විවිධ අන්දමේ ආක්‍රමණ සිදු වූ අවස්ථාවල කැපී පෙනෙන පුරෝගාමී දායකත්වයක් දැක්වූ පුද්ගලයෝ ජාතික වීරයන් නමැති ප්‍රවර්ගයට අයත් වෙති.

මේ අනුව ජාතික වීරයන් යනු ශ්‍රී ලංකාවේ උත්තම ජීවන චරිත ලෙස හැඳින්වූවාට වරදක් නැත. අතීත ශ්‍රී ලංකා මාතෘභූමියේ විසූ උදාර මිනිසුන් රට, දැය, සමය වෙනුවෙන් කළා වූ අපරිමිත සේවය පිළිබඳ ඇගයීමක් කිරීම සහ ගෞරවයක් පිරිනැමීම, ඔවුන් වෙනුවෙන් දින නම් කිරීම ගෞරවනීය කටයුත්තකි. ඔවුන්ගේ චරිතාපදාන අධ්‍යයනයෙන් එවන් වූ මිනිසුන්ගේ මහා කැපවීම, බුද්ධි මහිමය, ආත්ම පරිත්‍යාගය හඳුනාගත හැකි ය. ඔවුන් පිළිබඳ ඉගෙනීමෙන් අනාගත පරපුරට ජාතිමාමක හැඟීමක් ඇති කරවීමක් ද බලාපොරොත්තු වේ.

ජාතික වීරයන් පිළිබඳ ඉහත ප්‍රවේශය ලිවීමට සිදු වූයේ පසුගිය දිනක උදය ගම්මන්පිල නමැති දේශපාලනඥයා විසින් පිල්ලෙයාන් නමැති හිටපු කොටි නායකයා ජාතික වීරයකු ලෙස සැලකිය යුතු බවට ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශයත් සමඟ ය. සත්තකින්ම බැලූවිට, වර්තමානයේ මේ දේශපාලනඥයන්ට ද්‍රෝහීන් සහ වීරයන් මාරු වී ඇති බවක් හඳුනාගත හැකි ය. ඔවුන්ට අභිමත පරිදි ජාතික වීරයන් නම් කිරීම මඟින් ඉතිහාසය අලුතින් ලිවීමට ඇති වුවමනාවක් අරුත්ගැන්වේ.

අනගාරික ධර්මපාලතුමා, හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, එස්. මහින්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වාරියපොළ ශ්‍රී සුමංගල හිමි, පොන්නම්බලම් රාමනාදන් මහතා, පොන්නම්බලම් අරුණාචලම් මහතා, ආරුමුගම් නාවලර්තුමා ඇතුළු නිදහස් සටනේ වීරයන් රැසක් මේ නාමලේඛනයට ඇතුළත් කළ හැකි ය.

උදය ගම්මන්පිල මහතා කියන පරිදි, මේ නාමලේඛනයේ අලුත්ම නාමය විය යුත්තේ නිරායුධ මිනිසුන් පිළිබඳ ඝාතන චෝදනාවලට ලක් වූ ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ය. සැබවින්ම ගම්මන්පිල මහතාගේ ප්‍රකාශය අත්පොළසන් දී පිළිගත යුත්තක් ද? නැත්නම් හඬාවැටිය යුත්තක් ද? යන්න උභතෝකෝටිකයකි. දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් ජාතික අභිලාෂයන් පාවාදීම පිළිබඳ මීට වඩා උදාහරණ තවත් ඇත්තේ ද?

පටු දේශපාලනික අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම උදෙසා ජාතික වීර නාමලේඛනය පවා සංශෝධනය කිරීමට තමන්ට අවශ්‍ය නම් හැකි බව ද, ඒ සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටින බව ද මේ ප්‍රකාශයෙන් ගම්‍යමාන නොවේ ද? එහෙත්, වෙනදා තරම් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආගමික හෝ භික්ෂු සංස්ථාවත්, වෙනත් ජාතිමාමක සංවිධාන හෝ පුද්ගලයන්වත් අදහස් ප්‍රකාශ කළ බවක් දක්නට නොලැබිණි.

බොහෝවිට මිනිසුන් වීරයන් ලෙස නම් කරන පුද්ගලයන්ම ඊළඟ මොහොතේ ඔවුන් විසින්ම ද්‍රෝහියකු ලෙස නම් කිරීමට ගතවන්නේ ඉතා සුළු මොහොතකි. ඒ නිසා වීරයකු සහ ද්‍රෝහියකු අතර ඇති පරතරය කෙස් ගසක් තරම්වත් නැති බව තේරුම් ගැනීමට ඉහත ප්‍රකාශය ප්‍රමාණවත් ය. වරෙක ද්‍රෝහියා වීරයකු වන බවත් තවත් වරෙක වීරයා ද්‍රෝහියකු වන බවත් මෙමඟින් අපට පැහැදිලි වන සරල සත්‍යයයි. වැඩවසම්වාදී පසුගාමි මනස් හිමි පුද්ගලයන් ස්වකීය පුද්ගල අභිමතාර්ථ ශබ්දකෝෂයේ ඇති උසස්තම වචන භාවිත කොට ගනිමින් වීරයන් සහ ද්‍රෝහීන් නාමකරණය කිරීම පිළිබඳ ඉතා සරල ප්‍රායෝගික උදාහරණයක් ගම්මන්පිල මහතා විසින් සමාජගත කොට තිබේ.

ගම්මන්පිල මහතාට ජාතික වීරයන් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට අවශ්‍ය නම් පාසල් විෂය නිර්දේශයේ හයවැනි ශ්‍රේණියේ සිට ඇති ඉතිහාසය පොත් මාලාව කියවීම ප්‍රමාණවත් වනු ඇත. ඊටත් පෙර ශිෂ්‍යත්ව විභාග නිර්දේශයේ ද ජාතික වීරයන් පිළිබඳ පරිච්ඡේදයක්ම වෙයි. ඒ මහතාගේ පරම පිවිතුරු සිංහල බෞද්ධ රාජ්‍යය ගොඩනැඟුණු කල පිල්ලෙයාන් ජාතික වීරයකු ලෙස අභිෂේක කරන මෙන් අපි ඉල්ලා සිටිමු. එහෙත් ඊට පෙර, ජාතික වීරයන් පිළිබඳ නාමලේඛනය කෙලෙසීමෙන් වළකින මෙන් අතීත ජාතික වීරයන් වෙනුවෙන් අපි ඉල්ලා සිටිමු.

ඒ කෙසේ වෙතත් ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වනුයේ දියුණු සමාජයක් ලෙස සංවර්ධනය නොවුණු පටුගාමී මනස් සහිත මිනිසුන් තවමත් මේ සමාජයේ සිටින බවයි.

රටක් සංවර්ධනයේ මාවත කරා පියනැඟීමේදී ආකල්පමය වශයෙන් ඇති කරගනු ලබන සංවර්ධනය ද ඉතා වැදගත් බව මෙහිදී පැහැදිලි වන ඉතා වැදගත් කාරණයකි. එබැවින් ඉතා ඉක්මනින් එකී ආකල්පමය සංවර්ධනය සඳහා වන ක්‍රමවේද ද සකස් කළ යුතුව ඇති බව අපි අවධාරණය කර සිටිමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT