ආඩිඅම්බලම , දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු , එම ව්‍යාපාරිකයා වෙඩිතබා ඝාතනය කිරිමට දැරූ උත්සාහය අසාර්ථක වූ පසු , ඔවුන් රැගෙන ආ ගිනි අවියක් සහ පතොරම් සමග එක් වෙඩික්කරුවෙකු අද ( 22) දින දහවල් කටුනායක පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
අංජන නැමති 37 හැවිරිදි ව්‍යාපාරිකයා ආඩිඅම්බලම , දැවමොට්ටාව ප්‍රදේශයේ පදිංචි වී සිටින අතර ඔහු මුදල් පොළියට දීමේ ව්‍යාපාරයක් ද පවත්වා ගෙන යමින් සිටින්නෙකි .
අද දින දහවල් 10.05 ට රතු පැහැති ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් මෙම ව්‍යාපාරිකයාගේ නිවෙස වෙත කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ , වාහනයක පොත තබා මුදල් ලබා ගැනීම සදහා තමන් පැමිණි බව පවසමින් ඇතුලු වී තිබේ .
එහිදී එසේ පැමිණි පුද්ගලයන්ගේ හැසිරීම් රටාව ගැන සැක සිතූ මෙම ව්‍යාපාරිකයා වහාම මොවුන් ඇතුළු වූ ගේට්ටුව , දුරස්ථ පාළකය මගින් වසා දැමීමට පියවර ගෙන තිබේ .
ඒ සමගම නොසන්සුන් වූ මෙම පුද්ගලයන් දෙදෙනා , මෙම ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට සූදානම් වුවද , එම ගිනි අවි නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා , වෙඩික්කරුවන් සිය ප්‍රයත්නය අතහැර , වහාම ආපසු හැරී දිව ගොස් , ව්‍යාපාරිකයාගේ අඩි 09 ක් පමණ උසැති තාප්පයෙන් පිටතට පැන තිබේ .
එහිදී එක් වෙඩික්කරුවෙකුගේ කකුළෙහි අස්ථි බිදීමකට ලක් වී ඇති අතර , ඔහු සිය ගිනි අවියෙන් හිසට වෙඩි තබා ගැනීමට දැරූ උත්සාහය ද ව්‍යයර්ථව ගොස් තිබේ .
ඉන්පසුව මෙම සිදුවීම කටුනායක පොලීසිය වෙත දැනුම් දීමෙන් පසු , එම නිලධාරීන් පැමිණ , ව්‍යාපාරිකයාගේ නිවසෙහි තාප්පය අසළ වැටී සිටි අම්පාර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එක් වෙඩික්කරුවෙකු සමග ඔහු සන්තකයෙහි තිබූ රිවෝල්වරයක් , එයට යොදන උණ්ඩ 05 ක් , මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල ගිනි අවියක් සදහා යොදන පතොරම් 09 ක් සහිත පතරොම් ගැබක් සහ තවත් මිලිමීටර් 09 පිස්තෝලයක හිස් පතරොම් ගැබක් ද අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට මෙම වෙඩික්කරුවා වෛද්‍ය ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුලත් කර තිබේ .
අනෙක් වෙඩික්කරුවා මිලිමීටර් 09 වර්ගයයේ පිස්තෝලයක් ද සමග , දිව ගොස් මේ වනවිට ප්‍රදේශයෙන් අතුරුදහන් වී තිබේ .
එහෙත් ඔහු මීගමුව ප්‍රදේශයේ පදිංච් මුස්ලිම් ජාතිකයෙකු බව පොලීසිය කරුණු අනාවරණය කර ගෙන තිබේ.
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධර්මසේන මහතාගේ උපදෙස් මත , වැඩබලන සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ කටුනායක පොලිසියේ වැඩබලන ස්ථානාධිපති කුළතුංග , අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දහම් මාරසිංහ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සිදු කරමින් සිටිති .