චීනයේ මානවරූපී තාක්ෂණයේ දියුණුව ප්‍රදර්ශනය කිරිම සඳහා බීජිං අගනුවර පසුගියදා පැවති අර්ධ මැරතන් තරගයකදී රොබෝවරු 21 දෙනකු සාමාන්‍ය ක්‍රීඩකයන් සමඟ තරගයට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව පළමු රොබෝ මැරතන් තරගය ලෙස ඉතිහාසයට එක්වූ එම අර්ධ මැරතන් තරගයේදී සාමාන්‍ය ක්‍රීඩකයන් එක් මං තීරුවකින්ද, රොබෝවරුන් තවත් මංතීරුවකින්ද තරග කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මේ තරගයේදී බීජිං සමාගමකට අයත් ටියැංගොං අල්ටා නමැති රොබෝ යන්ත්‍රය පැය දෙකකුත්, මිනිත්තු 40කින් තරගය නිමා කරමින් එම තරගය ජයග්‍රහණය කළත්, සාමාන්‍ය තරගය ජයගත් ක්‍රීඩකයාට ඒ සඳහා ගත වී ඇත්තේ පැයකුත්, මිනිත්තු 2ක් පමණක් බවත් වාර්තා වේ.
එම රොබෝවරුන් නිර්මාණය කළ තාක්ෂණික ශිල්පීන් ද සිය නිර්මාණය සමඟ ධාවනයේ නිරත වී ඇති අතර, කිලෝමීටර් 21ක දුරකින් සමන්විත එම අර්ධ මැරතන් තරගය සාර්ථකව නිමා කිරීමට රොබෝවරුන් රැසක්ම සමත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එහෙත් ඇතැම් රොබෝවරුන් තාක්ෂණික දෝෂ හේතුවෙන් ආරම්භයේදී අසාර්ථක වූ බව ද වාර්තා වේ. විවිධ හැඩයෙන් හා ප්‍රමාණයෙන් යුතු රොබෝවරුන් තරගයට එක්වූ බවත්, අඩි 3කුත්, අඟල් 9ක උසකින් යුතු රොබෝ නිර්මාණ මෙන්ම අඩි 5කුත් අඟල් 9ක් උසැති රොබෝ නිර්මාණ ද තරගයට ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ. තරගය අතරතුරදී ක්‍රීඩකයන්ට ජලය පානය කිරීමට අවස්ථාව ලබාදීමට සහ රොබෝවරුන්ට නව බැටරි සවි කිරීමට අවස්ථාව ලබාදීමට සංවිධායක මණ්ඩලය පියවර ගත් බව ද වාර්තා වේ.