Monday, April 21, 2025
Home » සවුදියේදී ඉතිහාසය අලුත් කළ ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා පිල යළි එයි

සවුදියේදී ඉතිහාසය අලුත් කළ ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා පිල යළි එයි

by sachintha
April 21, 2025 1:30 am 0 comment

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනය සංවිධානය කළ 6 වැනි ආසියානු අවුරුදු 18න් පහළ යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඉතිහාසය අලුත් කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පදක්කම් 8ක් දිනා ගැනීමට සමත් විය.

මේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් ඉහළම පදක්කම් සංඛ්‍යාව (8) මෙය වන අතර, රටවල් 19ක් අතරින් 9 වැනි ස්ථානයට පත්වුයේ මේ ශූරතාවලියේ හිමිකරගත් ඉහළම ස්ථානය සටහන් කරමිනි. ශ්‍රී ලංකා පිල මෙවර රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනාගත් අතර, මින් පෙර ශ්‍රී ලංකාව මේ ශූරතාවලියේදී දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස සටහන් වූයේ 2022 කුවේට්හිදී දිනාගත් පදක්කම් 5යි.

සවුදි අරාබියේ දමාම්හිදී පැවති මේ ශූරතාවලියේදී වසර 10කට පසු ශ්‍රී ලංකාව රනින් සැරසවීමට ගම්පොළ වික්‍රමබාහු මැදි විදුහලේ තරුෂි අභිෂේකා සමත් වීම කැපී පෙනිණි. මීටර් 800 බාලිකා ඉසව්වට එක්වූ ඇය මිනිත්තු 2:14.86කින් තරගය නිමා කරමින් රන් පදක්කම දිනාගත් අතර, මින් පෙර මේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා තිබුණේ 2015 වසරේදීය. අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය පළමු වරට 2015 වසරේ දෝහා කටාර්හිදී පැවති අතර, එහිදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම හිමිකර දීමට මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වට එක්වූ යමානි දුලාංජලී (61.27) සමත් වූවාය.

තම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරුෂි අභිෂේකා මෙසේ කීවාය. “එම රටේ තිබූ දේශගුණය ලොකු අභියෝගයක් වුණා. එම තත්ත්වය යටතේ මෙවැනි ජයක් ලබා ගැනීමට හැකිවීම ගැන සතුටුයි. මගේ මීළඟ බලාපොරොත්තුව බහරේන්වල පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පදක්කමක් දිනා දීමයි.”.

මීට අමතරව තරුෂි මෙඩ්ලි සහාය ඉසව්වේදී ධනංජනා සෙව්මිණි, සංසලා සෙනවිරත්න සහ ඩිල්කි නෙහාරා සමඟ එක්ව ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට සමත් වූවාය. ඔවුන් තරගය නිමා කිරීමට මිනිත්තු 2:14.25ක කාලයක් ගතකළ අතර එය නව ශ්‍රී ලංකා යොවුන් වාර්තාවක් බවට ද පත් විය.

මීට අමතරව ජනිත් ලක්ෂාන් (තුන් පිම්ම) සහ ධනංජනා ප්‍රනාන්දු (මී. 200) රිදී පදක්කම් දිනාගත් අතර, පවන් නිත්‍ය සම්පත් (උස පැනීම), ළහිරු අචින්ත (මී. 1500), සවිඳු අවිශ්ක (මී. 800) සමඟ දිල්කි නෙහාරා (තුන් පිම්ම) ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

සමස්ත පදක්කම් සංඛ්‍යාව (8) අනුව ශ්‍රී ලංකාවට සිවුවැනි තැන හිමිවූ අතර, මෙය සුවිශේෂී ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසීය.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් යළි මෙරටට පැමිණියහ.

නිරෝෂාන් ප්‍රියංකර

ඡායාරූප – කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT