නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතිය යටතේ ඊයේ දඹුලු පිලට එරෙහිව ආරම්භ වූ තරගයේදී යාපනය පළමු ඉනිම වෙනුවෙන් නොදැවී ශතකයක් රැස් කිරීමට ආරම්භක පිතිකරු රවිඳු රසාන්ත සමත් විය.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්ව සිටින රවිඳු, රැස් කළ තෙවැනි ශතකය මෙය වන අතර, පන්දු 196කින් ගොඩනැඟුණු එම ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් විය. ඔහුට අනගි සහායක් දුන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 63ක් රැස් කර තිබුණේ පන්දු 113කදී හතරේ පහර 8ක් සමඟිනි. දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩනැඟුණු නොබිඳුණු සබඳතාව ලකුණු 131කි.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනයට තරගය නතර කරන විට යාපනය පිල ඕවර 62කදී කඩුලු 2කට ලකුණු 206ක් රැස් කර තිබිණි.
මේ අතර කොළඹ පිලට එරෙහිව දඹුල්ලේදී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහර දෙන ගාල්ල කණ්ඩායම පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 265ක් රැස්කරගෙන සිටියේය.
ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 12ක් තුළ දැවී ගියද අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් සෙසු පිතිකරුවන් සමඟ එක්ව ලකුණු පුවරුව 200 සීමාවෙන් එපිටට රැගෙන ගියේ ලකුණු 132ක් රැස්කරමිනි. පන්දු 195කදී හතරේ පහර 14කින් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කර ගත් ඔහු ඊයේ රැස් කළේ සිය පළමු පෙළ තරග දිවියේ 35 වැනි ශතකයයි. චන්දිමාල්ට අනගි සහායක් දුන් නායක රමේෂ් මෙන්ඩිස් 6 වැනි කඩුල්ලට ලකුණු 119ක සබඳතාවක් ගොඩනැඟූ අතර, ඔහු දිනය නිමා වන විට නොදැවී ලකුණු 56ක් රැස් කර තිබිණි. පන්දු යැවීමේදී ධනංජය ලක්ෂාන් කඩුලු 3ක් බිඳ දැම්මේය. මේ තරගවල දෙවැනි දිනය අදයි.
යාපනය-දඹුල්ල
යාපනය පළමු ඉනිම – 206/2 (ඕවර 62) රවිඳු රසාන්ත නොදැවී 100, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 63
ගාල්ල-කොළඹ
ගාලු පළමු ඉනිම – 265/7 (ඕවර 83.2) දිනේෂ් චන්දිමාල් 132, රමේෂ් මෙන්ඩිස් නොදැවී 56 (ධනංජය ලක්ෂාන් 51/3)
නිරෝෂාන් ප්‍රියංකර