Home » ආසියානු රග්බි ශූරතාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි
මැලේසියාව ලකුණු 59-19කින් පරාජය කරමින්

ආසියානු රග්බි ශූරතාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

by sachintha
April 21, 2025 1:00 am 0 comment

සංචාරක මැලේසියානු පිල හමුවේ විශිෂ්ට දස්කම් පෑ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ ලකුණු 59-19ක ජයක් වාර්තා කරමින් ආසියානු රග්බි ශුරතාවලිය සඳහා සුදුසුකම් ලැබීමට සමත් වූහ.

කොළඹ තුරඟ තරග පිටියේ පෙරේදා පස්වරුවේ පැවති මේ තරගයේ ආරම්භයේ සිටම කැපී පෙනෙන ක්‍රීඩා විලාසයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 9ක්ම තැබීමට සමත්වූ අතර, ඉන් 7ක්ම ගෝල බවට පත් කරනු ලැබුවේ මුර්ෂීද් සුබේර් විසිනි. ශ්‍රී ලංකා පිල හමුවේ දැඩි පීඩනයට පත්ව සිටි මැලේසියාවට රැස් කිරීමට හැකි වූයේ ගෝල් 2ක් සහ උත්සාහක දිනුමක් පමණි.

මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ආසියානු 15 සාමාජික රග්බි ශුරතාවලියට ඇතුළත්වූ අතර, වසර මැද භාගයේ පැවැත්වීමට නියමිත එම ශුරතාවලියේදී දකුණු කොරියාව, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ තරග වදිනු ඇත. ආසියානු 15 සාමාජික රග්බි ශුරතාවලිය වසර 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබාගැනීම උරගා බලන අවස්ථාවක් ද වන බැවින් එම තරගාවලිය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනු ඇත.

මහනුවර ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩක නයිජල් රත්වත්තගේ නායකත්වයෙන් පෙරේදා තරග බිමට පිවිසි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඩිනාල් ඒකනායක උත්සාහක දිනුම් ත්‍රිත්වයක් තබමින් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ අතර, ජනිඳු ඩිල්ෂාන් උත්සාහක දිනුම් 2ක් තැබීමට සමත් විය. මීට අමතරව ධනුෂ්ක රන්ජන්, ආකාශ් මධුසංඛ, නවීන් මාරසිංහ සහ දහන් වික්‍රමආරච්චි සෙසු උත්සාහක දිනුම් තැබූහ.

මේ තරගයේදී ශ්‍රී ලංකා පිල ප්‍රවීණ පුහුණුකරු සනත් මාටිස්ගේ ප්‍රධාන පුහුණුකාරීත්වයෙන් තරග වැදුණු අතර, ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙස දුෂ්‍යන්ත් ලෙව්කේ සහ පසුපෙළ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙස සාලිය කුමාර කටයුතු කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස උදය හෙට්ටිආරච්චි මහතා කටයුතු කළ අතර, රොහාන් චින්තක මහතා කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කළේය.

 

ෆවුස් මොහොමඩ්

ඡායාරූප – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT