Home » විදුලි රැහැනේ පැටලුණු තේරු කරත්තය වැටී ගම්පොළ පුද්ගලයෙක් මරුට

විදුලි රැහැනේ පැටලුණු තේරු කරත්තය වැටී ගම්පොළ පුද්ගලයෙක් මරුට

by sachintha
April 21, 2025 1:00 am 0 comment

නගරයේ ඇති අනාරක්ෂිත විදුලි රැහැන් පද්ධතිය හා දුරකතන රැහැන් නිසා ගම්පොළ නගරයේ ජනතාව නිතරම අනතුරට ලක්වීම පිළිබඳව බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතු යැයි හින්දු බැතිමතුන් ගම්පොළ නගරයේ පැවැත්වූ තේරු උත්සවයේදී රැගෙන ගිය තේරු කරත්තයේ උඩ කොටස විදුලි රැහැනක පැටලී, එහි කොටසක් කැඩී තේරුව රැගෙන ගිය අයකුගේ හිස මත වැටී මියයාමේ සිද්ධිය වෙනුවෙන් පැවැත් වූ මරණ පරීක්ෂණයේදී ගම්පොළ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා පැවසීය.

ගම්පොළ නගරයේ, මලබාර් වීදියේ ඇති කතරගම දේවාලයේ වාර්ෂිකව දින 11ක් පවත්වන උත්සවය අවසානයේ මහවැලි ගඟ වෙත බැතිමතුන් තේරු කරත්තය රැගෙන යන අවස්ථාවේදී ගම්පොළ නගරය මාධ්‍යයේ හරහට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක තේරු කරත්තයේ උඩ කොටස වැදී එහි කොටසක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මාර්ගය හරහා ඇද ඇති වෙළෙඳසලකට ලබා දී ඇති මෙම විදුලි රැහැන අඩි 12ක් වැනි පහතින් ඇදතිබීම නිසා මෙම අනතුර සිදුවූ බව හෙළි විය. එහිදී තේරුවේ හරස් ලීය කර මත තබාගෙන ගිය පලනියන්ඩි සුභ්‍රමණියම්ගේ හිස මත මෙම කොටස කඩා වැටීමෙන් ඔහු මියගිය අතර එහි සිටි තවත් අයකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

ගම්පොළ, නුවර වීදියේ පදිංචිකරුවකු වූ හැත්තෑ දෙහැවිරිදි මොහු සෑම වසරකම මෙම තේරුව පසුපස ගොස් ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළි විය.

එහිදී සාක්ෂි දුන් ඔහුගේ බිරිය වන මායාලගුපිල්ලේ රාජේස්වරී මෙසේ පැවසුවාය.

“දේවාලයේ දවස් දහයක් උත්සවය තියලා පහුවදා මහවැලි ගඟට දිය කපන්න ගියා. ගැහැනු අයයි ළමයිනුයි තේරු කරත්තෙ ඉස්සරහින් ගියා. පිරිමි අය යන්නේ තේරු කරත්තේ පසුපසින්.

මගේ මහත්තයා හැම අවුරුද්දේම තේරු කරත්තේ ලීය කරේ තියාගෙන යනවා. අපි කඩුගන්නාව පාරේ පහළට ඇවිත් නුවර පාරෙන් ගිහින් නුවරඑළිය වීදියට හැරුණා. එතකොට කලබලයක් ඇතිවුණා. එක්කෙනෙක් ඇවිත් කීවා මහත්තයට අනතුරක් කියලා. මම ගිහින් බලනකොට මහත්තයා පාර මැද වැටිලා හිටියා. මගේ පුතාත් තේරු පෙරහරේ ඉස්සරහින් ගියේ. ඒ අය මේ ගැන දන්නේ නෑ ඒ ගොල්ලෝ මහවැලි ගඟටම ගිහිල්ලා තිබුණා.”

මෙහිදී මියගිය අයගේ පුතා වන 44 හැවිරිදි සුභ්‍රමණියන් නවනීදන්, කෝවිලේ සභාපති තෙයිලාන් පෙරියසාමි (80) අනතුරින් තුවාල ලැබූ පලනි දේවදාස් යන අය ද සාක්ෂි දුන්හ.

ගම්පොළ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි අමිල ද මෙල් මහතා මෙහි පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වූ අතර හිසට හා පපුවට සිදුවූ හානි හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව සඳහන් කොට තිබුණි.

ගම්පොළ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT