Home » කජු කර්මාන්තය නඟාසිටුවීමට නම් රජයේ අවධානය යොමු විය යුතුයි

කජු කර්මාන්තය නඟාසිටුවීමට නම් රජයේ අවධානය යොමු විය යුතුයි

- කජු ව්‍යාපාරික මානෙල් කරුණාවංශ

by sachintha
April 21, 2025 1:47 am 0 comment

මෙරට සහ විදේශයන්හි විශාල ඉල්ලුමක් පවතින කජු කර්මාන්තය පවත්වාගෙන යාමේදී කලින්කලට විවිධ අන්දමේ ගැටලුවලට මුහුණපෑමට සිදුව ඇති නමුත් ඒ සියල්ල අබිබවා යමින් සාර්ථකව කජු ව්‍යාපාරය පවත්වාගෙන යාමට ව්‍යවසායකයින් කිහිප දෙනෙකු සමත්ව සිටියද ඉදිරියේදී ඇතිවිය හැකි අර්බුදකාරී තත්ත්වයට රජයේ මැදිහත්වීම අවශ්‍ය වී ඇති බව කජු කර්මාන්තයේ නිරතවූවන් පවසති.

දැනට කජු ව්‍යාපාරයේ නිරත ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන ගම්පහ, මාකේවිට ප්‍රදේශයේ සිය ව්‍යාපාරය පවත්වාගෙන යන මානෙල් කරුණාවංශ මහතා අපට හමුවූහ. ඔහු සඳහන් කර සිටියේ කලින් කලට පත්වන අපහසුතාවන් අතරින් දැඩි දුෂ්කරතාවන් මධ්‍යයේ මෙම ව්‍යාපාරය පවත්වාගෙන යාමට සිදුව ඇති බවත්, වර්තමානයේ ලෙලි කජු ආනයනය කිරීමේදී පවතින බදු අධික බැවින් ඉදිරියේදී කජු මද කිලෝවක් රුපියල් 7000ක් පමණ විය හැකි බවයි.

මෙරට කජු කර්මාන්තයේ උන්නතිය උදෙසා රජයේ කජු සංස්ථාව පිහිටුවා ඇති නමුත් ඉන් නිසි පලක් නොවන බව පවසන මෙම ව්‍යාපාරිකයා, සංස්ථාව කජු ප්‍රචලිත කිරීමේදී අසාර්ථකත්වයට පත්ව ඇති බව පවසයි. ලෝකයේ වෙනත් රටවල් දෙස බලන විට මෙරට කජු සංස්ථාව මඟින් නිසි සේවාවක් ලබා නොදෙන බවත් උසස් තත්ත්වයෙන් යුත් බීජ මඟින් පැළ සපයා ගැනීමට අපොහොසත්වීම මෙන්ම නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම මත මේ වනවිට කජු කර්මාන්තයේ නිරතව සිටි බොහෝ දෙනෙකු ඉවත්ව සිටින බවද හෙතෙම පෙන්වා දෙනු ලැබීය.

තවද කජු සුද්ධ කිරීම සහ කුරුට්ට ඉවත් කිරීම වැනි කටයුතු සඳහා නවීන තාක්ෂණික ක්‍රම, කජු ව්‍යාපාරය පවතින විදේශයන්හි පවතින නමුත් මෙරට කජු සංස්ථාවට තාක්ෂණික වශයෙන් දියුණු බවක් ඇති කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ප්‍රදේශ ගණනාවක පවතින කජු සංස්ථාව සතු විශාල ඉඩම් ප්‍රමාණයෙන් හොඳ අස්වැන්නක් ලබා ගැනීමට අපොහොසත්ව ඇති බවත් මානෙල් මහතා පෙන්වා දෙනු ලැබීය.

පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේද පවසා සිටියේය. Òමෙම ආයතනයට කජු වගා කිරීමේ නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම මත අනාගතයේදී මෙම කර්මාන්තය අඩාළවන තත්ත්වයකට පත් විය හැකියි. මෙරට අවශ්‍යතාව සඳහා කජු මද නොමැතිවීමෙන් කජු කර්මාන්තයේ ඍජුව හා වක්‍රව නිරතව සිටින විශාල පිරිසකට ගැටලුවකට මුහුණ පෑමට සිදු විය හැකි තත්ත්වයක් පවා ඇතිවිය හැකියි.

මේ හේතුවෙන් විශාල පිරිසකගේ රැකියා අවස්ථා අහිමි විය හැකියි. මට මාකේවිට ප්‍රදේශයේ පවුල් 25ක් පමණ සම්බන්ධ කර ගනිමින් ඇතැමුන්ට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පවා සපයාදී රැකියා අවස්ථා සලසාදීමට හැකියාව ලැබී තිබෙනවා. පවුල් කිහිපයක්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවා සිදු කරමින් ජීවිකාව ගෙන යන්නෙ මේ කජු කර්මාන්තයෙන්. විශාල පිරිසකට ජීවිකාව ගෙන යාම පිණිස අත දීමට හැකිවීම ගැන මම සතුටු වෙනව.

මෑතකදී වියට්නාමයෙන් අධික මුදලක් වැය කොට කජු මද ඉවත් කිරීම ඇතුළු සියලුම කටයුතු සිදු කිරීමේ යන්ත්‍රයක් පළමු වරට මෙරටට ආනයනය කිරීමට හැකි වුණා. නමුත් අපේ රටේ කජුවලට විශාල ඉල්ලුමක් තිබියදී කර්මාන්තය කඩා වැටීමක් සිදු වුණොත් පත්වන තත්ත්වය කුමක්ද කියා විමසීමට සිදු වෙනව.Ó

මානෙල් මහතාගේ ව්‍යාපාරය යටතේ සිය නිවෙස්වල සිට ස්වයං රැකියාවන් ලෙස කටයුතු කරන කිහිප දෙනෙකු අදහස් දැක්වූයේ මෙලෙසිනි.

මාකෙවිට, ඩබ්ලිව්. කේ.ජයරත්න සහ ස්වර්ණා ගුණසීලී මහත්මිය ‘අපි දෙන්නා දරුවන්ට බරක් නොවී ජීවත්වෙන්නෙ මේ කර්මාන්තයෙන්. මානෙල් මහත්තය, අපිට කජු මද සකස් කරන රුපියල් ලක්ෂ දෙකහමාරක් විතර වටිනා යන්ත්‍රයක් නොමිලයේ ලබා දී තිබෙනව. ඒ වගෙම මද කිරීමට අවශ්‍ය ලෙලි කජු අපිට නොමිලයේ ලබා දෙනව. මාසෙකට හොඳ ආදායමක් ලබාගන්නව ගෙදර ඉඳල. මානෙල් මහත්තයට අපි පින් දෙනව.’

මාකෙවිට, ප්‍රමිතා ජයන්ති මහත්මිය, ‘නොමිලයේ ලබා දෙන ලෙලි කජු මද කරල භාර දෙනව. අපි ජීවත් වෙන්න මේකෙන්.’

මාකෙවිට, සුනේත්‍රා මල්කාන්ති මහත්මිය, Òමේ ව්‍යාපාරයෙන් මට දරු පවුල වෙනුවෙන් ආදායමක් උපයා ගන්න පුළුවන් වෙලා තියෙනව. මට පාසල් යන දරුවන් තුන් දෙනෙක් ඉන්නව. මහත්තය කාලෙකට පෙර නැති වුණා. මානෙල් මහත්තය නොමිලයේ සපයන ලෙලි කජු මද කර දීමෙන් ජීවිකාව ගෙන යනවා. මේ ස්වයං රැකියාව ලොකු ශක්තියක්.’

ගම්පහ අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT