තායිලන්තයේ සහ මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් අපවත් වී වදාළ මහා සංඝරත්නයට හා මියගිය දෙරට වැසියන්ට පින් අනුමෝදනා කිරීම සහ විපතට පත් දෙරට ජනතාවට නිදුක්, නීරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරමින් මතක වස්ත්‍ර පූජා කොට පැන් වඩා පුණ්‍යානුමෝදනා කිරීම හා සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශීර්වාද කිරීමේ මහා පින්කමක් පසුගියදා අනුරාධපුර පූජා නගරයේ බුරුම විහාරස්ථානයේදී පැවැත්විණ.
අනුරාධපුර මධ්‍යම නොරගම් පළාත ශාසනාරක්ෂක බලමණ්ඩලය, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුරාධපුර ප්‍රාදේශීය සංඝ සභාව, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අනුරාධපුර දිස්ත්‍රික් සංඝ සභාව මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්, බුරුම විහාරස්ථානාධිපති හිමියන් ද ඇතුළු මහා සඟරුවන මඟින් මෙම පින්කම සංවිධානය කරන ලදි. තවද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සද්ධර්මවංශ පාර්ශ්වයේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර දිස්ත්‍රික් සංඝ සභාවේ ලේකම් හා මධ්‍යම නුවරගම් පළාත ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය හල්මිල්ලෑවේ සද්ධාතිස්ස, අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේ හා නෙල්ලිකුරුම පංචශතික චාරිකාරාමාධිපති බෝගමුවේ සද්ධාරංසි, වඩිගවැවේ විපස්සි හිමි ඇතුළු මහා සංඝරත්නය ද දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක, පූජා භූමි සංවර්ධන නිලධාරීන් හා බෞද්ධ සංවිධාන නියෝජිතවරුද මෙම අවස්ථාවට එක්වූහ.
අනුරාධපුර දිසා විශේෂ – වෝල්ටර් දයාරත්න