Monday, April 21, 2025
Home » කොළඹ-බදුල්ල රාත්‍රි තැපැල් දුම්රියේ ගැටී පට්ටිපොළ සංචාරක මුරකරු මරුට

කොළඹ-බදුල්ල රාත්‍රි තැපැල් දුම්රියේ ගැටී පට්ටිපොළ සංචාරක මුරකරු මරුට

by sachintha
April 21, 2025 1:23 am 0 comment

 

උඩරට දුම්රිය මාර්ගයේ පැරකුම්පුර, අඹේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි සංචාරක මුරකරුවකු පෙරේදා(19) අලුයම කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති බව පට්ටිපොළ පොලීසිය පවසයි.

දියතලාව, හෙලකඳුරුගමුව, උඩුතුරේ පදිංචිව සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ පට්ටිපොළ දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු යටතේ සංචාරක මුරකරුවකු ලෙස සේවය කරමින් සිටි 25 හැවිරිදි එම්.එස්. සල්ගාදු නමැති එක් දරු පියකු මෙසේ මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

විශේෂයෙන් උඩරට දුම්රිය මාර්ගයේ රාත්‍රි කාලයේ දුම්රිය මාර්ගයට පස්කඳු, ගල්පර්වත, ගස්කොළං, ඉවුරු කඩා වැටී දුම්රිය ධාවනයට සිදුවන බාධාවන් පරීක්ෂා කිරීමට කඳුකර දුම්රිය මාර්ගයේ පැය 24 පුරාම මෙසේ දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් සංචාරක මුරකරුවන් පාගමනින් සංචාරක බීට්ටු තුළ රාජකාරියේ යොදවා ඇති බවත් එසේ මොහු නානුඔය – අඹේවෙල දුම්රිය ස්ථාන අතර අංක 29 දරන දුම්රිය මාර්ගය පරීක්ෂා කිරිමේ සංචාරක මුරසේවයේ නිරතව සිටියදී කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රියේ ගැටී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

පසුව මොහු එම දුම්රියේ දමා ගෙන අඹේවෙල දුම්රිය ස්ථානයට රැගෙන එන අතරතුරේදී මියගිය බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් අභ්‍යන්තර විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවත් එහි ප්‍රකාශකයෙක් පවසා සිටියේය.

පට්ටිපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සොරණාතොට සමූහ – සී. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT