හැටන් ප්‍රදේශයේ කුකුළු ගොවිපළවල සහ කුකුළු මස් වෙළෙඳසල්වල දිනපතා ඉවතලන අපද්‍රව්‍ය ත්‍රිරෝද රථ සහ ලොරි රථවලින් රැගෙන ගොස් හැටන් – නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශයට යාබදව පිහිටි රක්ෂිතයට ඉතා සූක්ෂ්ම ලෙස මුදාහැරීම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් සහ සංචාරකයන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
එම මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයට දිනපතා රාත්‍රී කාලයේ ත්‍රිරෝද රථ සහ ලොරි රථවලින් එම අපද්‍රව්‍ය රැගෙනවිත් බැහැර කිරීම නිසා විශාල පරිසර හානියක් සිදු වී ප්‍රදේශය හරහා දැඩි දුගඳක් හැමීම හේතුවෙන් මෙසේ සංචාරකයන් සහ මගීන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
කාසල්රි ජලාශය අවට සංචාරක හෝටල් ගණනාවක් ඇති අතර එම සංචාරක හෝටල්වලට දෙස් – විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන අතර, හමන දැඩි දුර්ගන්ධය හමුවේ එම සංචාරකයන් ද, එම මාර්ගයේ ගමන් ගන්නා වතු කම්කරුවන් සහ පාසල් ළමුන් ද මෙසේ පීඩාවට පත්වී ඇති බව එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියැදුරෝ පවසති.
පසුගිය සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ඉවතලන කුකුළු මස් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙසේ එම පරිසරට මුදාහැරීම නිසා එම ස්ථානයේ මැස්සන්, මදුරුවන් සහ පණුවන් විශාල වශයෙන් බෝ වී ඇති බවත්, මෙම පාරිසරක විනාශය නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
හැටන් – දික්ඔය නගර සභාවේ හිටපු පාලකයන් නගරයේ දිනපතා එකතුවන කැළි කසළ සහ මෙවැනි මස් අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීම හමුවේ හැටන් නගරයේ වෙළෙඳුන් විසින් එම අපද්‍රව්‍ය රැගෙන්විත් පරිසරයට මුදාහරින බව ප්‍රදේශවාසීහු තවදුරටත් පවසා සිටියහ.
එම මාර්ගයේ දිනකට නොර්ටන්බ්‍රිජ්, ලක්ෂපාන, ඔස්බොන් ඇතුළු ප්‍රදේශ රැසකට බස් රථ ගණනාවක් ධාවනය වන අතර, එම බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් හැටන් පොලීසියට ලද තොරතුරක් මත හැටන් පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් මේ පිළිබඳ විමර්ශනයක්ද සිදු කර තිබුණි.
හැටන් – රංජිත් රාජපක්ෂ