Home » සීගිරි අභයභූමිය වනසන බොරලු කැපීමට අවසර දුන්නේ කවුරුන්ද?

සීගිරි අභයභූමිය වනසන බොරලු කැපීමට අවසර දුන්නේ කවුරුන්ද?

by sachintha
April 21, 2025 1:11 am 0 comment

ලෝක උරුම සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරලු පස් කැපීමේ සිද්ධියක් ක්‍රියාත්මක වන බවත් එය මැඬලීමට හෝ වළකාලීමට කිසිදු අයෙකු ඉදිරිපත් නොවන්නේ කුමන බලයක් නිසාදැයි සීගිරිය සුරැකීමේ සංවිධානය ප්‍රශ්න කර සිටියි.

සීගිරිය අභයභූමිය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවට බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ කාර්යාලය ආසන්නයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරකින් සීගිරි පව්වට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකින් මෙම මහා වනාන්තරය මැද රූස්ස ගස් ඩෝසර්කොට විනාශ කර දමා වසර ගණනාවක සිට ඉතා හොර රහසේ විශාල වළවල් හාරා බොරලු රැගෙන යාම සිදුවන බවත් ජනතාව පෙන්වා දෙති. වසර කිහිපයක සිට ඉතාමත් හොර රහසේ මෙය පවත්වාගෙන ගොස් තිබෙන බවත් එතෙක් වනජීවී නිලධාරීන් මෙය නොදැක්කාසේ සිටියේ කෙසේදැයි ඔවුහු වැඩිදුරටත් ප්‍රශ්න කරති.

සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරිනියකගෙන් පෙරේදා (19) පස්රවරුවේ විමසීමේදී ඇයද පවසා සිටියේ ඔවුන්ගේ බලය ඇති සීගිරිය අභයභූමියේ ඇති විද්‍යුත් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන චන්ද්‍රිකා තාක්ෂණ අනුව නිරීක්ෂණයේදී වසර කිහිපයක සිට මෙය සිදු වන බවට නිරීක්‍ෂණය වූ බවයි.

කෙසේ වෙතත් කිසිදු අවසරයක් හෝ අනුදැනුමකින් තොරව එය සිදු වන බවත් මෙසේ විනාශයක් සිදුවන්නේ සීගිරි අභයභූමිය තුළ බවද ඇය පැවසුවාය.

කෙසේ වෙතත් මෙම මහා පරිසර විනාශය සිදු කරනු ලබන්නේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් සීගිරිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වනසත්ව අඩවි ආරක්ෂක එස්.එස්. මලින්ද මහතාගෙන් විමසීමේදී පවසා සිටියේය.

සීගිරි අභයභූමිය තුළ මෙවැනි මහා පරිමාණ බොරලු වළක් සඳහා කිසිදු අවසර පත්‍රයක් ලබා දී නොමැති බවත් පෞද්ගලික ඉඩමක වුවද පස් කැණීම් සඳහා විධිමත් නීතිමය ක්‍රියාවලියක්, රාමුවක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව තමන් කඩිනමින් ක්‍රියාවලිය සිදුකරන්නේ කවුරුන්ද යන්න සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

සීගිරිය සුරැකීමේ සංවිධානයේ සභාපති ලයනල් ගුණසේකර මහතා සඳහන් කළේ තමන් 1970 දශකයේ සිට සීගිරි පුරවරයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරතව සිටින බවයි. එදා සිට අද දක්වා ප්‍රදේශයේ ජනතාවට අභයභූමියේ සහ පුරාවිද්‍යා රෙගුලාසි යටතේ වැසිකිළි වළක් හෝ කපා ගැනීමට ඉඩහසර නොමැති බවයි.

එවැනි වකවානුවක මේ හා මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන සීගිරි අභයභූමිය විනාශ කරන්නට ශක්තිය බලය ජවය ලබා දුන්නේ කවුරුන්ද යන්න වහා රටට හෙළි කළ යුතුව ඇති බවයි.

තමන් ඇතුළු කණ්ඩායම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සංවර්ධන කමිටුවේදී මෙය ප්‍රශ්න කරන බවද සඳහන් කරන්නට විය. මෙම බොරලු කැපීමේ ක්‍රියාවලිය වසර ගණනාවක සිට ඉතාමත්මක සීරුවෙන් සිදු කරගෙන යන බව තමන්ට ස්ථාන පරීක්ෂණයේදී දැකගැනීමට හැකි වූ බවද ලයනල් ගුණසේකර මහතා සඳහන් කළේය.

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT