Monday, April 21, 2025
Home » වලවේ ගඟේ ගල්ලෙනකන්ද පේරකැටිය අතරට මගී පාලමක් සාදා දෙන්නේ කවදාද?

වලවේ ගඟේ ගල්ලෙනකන්ද පේරකැටිය අතරට මගී පාලමක් සාදා දෙන්නේ කවදාද?

by sachintha
April 21, 2025 1:49 am 0 comment

බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වලේබොඩ පේරකැටිය ප්‍රදේශය සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්ලෙන ප්‍රදේශයත් යාකරමින් වලවේ ගඟ හරහා පාලමක් ඉදිකර නොමැති වීම හේතුවෙන් වලවේ ගඟෙන් එගොඩ මෙගොඩ යන ජනතාව දීර්ඝ කාලයක සිට දැඩි අපහසුවට පත්ව සිටින බව ජනතාව පවසති.

තේ වතුහිමියන්, වලේබොඩ, ගල්ලෙනකන්ද සහ බළන්ගොඩ නගරයේ ඇති පාසල්වලට යන දරුවන්, මනතුංකන්ද රෝහලට පැමිණෙන ජනතාව මෙන්ම ගල්ලෙනකන්ද විහාරස්ථානය වෙත යන ජනතාව මේ හේතුවෙන් දැඩි අපහසුවට පත්වෙන බව ජනතාව පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වලේබොඩ පේරකැටිය ප්‍රදේශයේ පදිංචි සමන් කුමාර මහතා මෙසේ පැවසීය.

“වලවේ ගඟෙන් එගොඩ මෙගොඩ යෑම සඳහා වලේබොඩ පේරකැටිය ප්‍රදේශයෙන් පාලමක් නොමැතිකම හේතුවෙන් පේරකැටිය සහ ගල්ලෙනකන්ද ප්‍රදේශවල ජනතාව වසර ගණනාවක සිට දැඩි අපහසුවට පත්ව සිටිනවා.

මෙම ස්ථානයෙන් පවුල් දෙසීය පණහක පමණ ජනතාව දෛනික කටයුතු සඳහා වලවේ ගඟ හරහා එහා මෙහා යනවා. ඡන්දය කාලයට ඇවිත් පාලමක් හදලා දෙනවා කියලා නිලධාරීන්, විවිධ දේශපාලන පක්ෂවල අය ඇවිත් නිරීක්ෂණය කරලා පොරොන්දු දීල යනවා. ඊට පස්සේ පැත්ත පළාතේ ආ‍ෙය එන්නේ නැහැ. අයේ අවුරුදු පහකට පස්සේ ඡන්දයක් ළං වෙනකොට තමයි මේ පාලම ගැන මතක් වෙන්නේ. හැමදාම අපි රවටපු එක තමයි. අපේ ආතා මුත්තා කාළේ ඉඳන් මෙතනට පාලමක් ඉල්ලනවා. ඒත් තාම ඒ දේ කරල දෙන්න කවුරුත් මැදිහත් වුණේ නැහැ. පාසලට, රෝහලට, පන්සලට, තේ වත්තට යන අය පැය ගාණක් අතරමං වෙන්නේ වසර ගණනාවක සිට. මේ දවස්වල ගඟේ වතුර නැති නිසා ගලෙන් ගලට පැන පැන එහා මෙහා යන්න පුළුවන්. වැස්ස දවසට ජනතාවට කර කියා ගන්න දෙයක් නැතිව පීඩාවට පත් වෙනවා.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරකැටිය ප්‍රදේශයේ පදිංචි පී.කේ. දනුක දෙනෙත් මහතා මෙසේ පවසා සිටියේය.

“ වලවේ ගඟ රක්ෂිතයට තද වැස්ස වහිනකොට වලවේ ගඟ දෙගොඩතලා ගලනවා. ඒ වෙලාවට එගොඩට ගිය අයට මෙගොඩට එන්න බැහැ. මෙගොඩට ආපු අයට එගොඩට යන්න බැහැ. පාසල් දරුවන් ඇතුළු සියලු දෙනා අතරමං වෙනවා. කිලෝමීටර් භාගයනින් යන්න තියන ගමන, වැස්ස දවසට වටෙන් ඇවිත් එන්න කිලෝමීටර් දහයක් දුර යන්න ඕනි. වාහන යන්න පාලමක් මෙතනට කවුරුත් ඉල්ලන්නේ නැහැ. එහා මෙහා යන්න කම්බි පාලමක් හෝ ඉදිකරල දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.”

බළන්ගොඩ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාමන්ත අබේරත්න මහතා මෙසේ පැවැසීය. “වලේබොඩ, ගල්ලෙනකන්ද සහ පේරකැටිය ප්‍රදේශ දෙක වෙන් වෙලා තියෙන්නේ වලවේ ගඟෙන්. මේ ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් වලවේ ගඟෙන් තමන්ගේ දෛනික කටයුතු සඳහා පාලමක් නොමැති ස්ථානයෙන් එගොඩ, මෙගොඩ යනවා. මෙතන දැඩි අවදානම් තත්ත්වයක් තමයි තිබෙන්නේ. ගලෙන් ගලට පැන පැන යන එකක් අවදානම්. මොකද ගල් ලිස්සනවා. පැවැති රජයන් කිහිපයකටම මෙම අඩුපාඩුව ගැන අපි දැනුම්වත් කරලා පාලමක් හදලා දෙන්න කියලා ඉල්ලීම් කළා. නමුත් පැවති කිසිම රජයක් ඒ ගැන අවධානය යොමු කළේ නැහැ.”

බළන්ගොඩ – සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT