මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද බොරුවක් වී අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුතූර්හි පැවැති ජන රැලියකදි පෙරේදා (19) පැවසීය. එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.
“ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේදි අපේක්ෂා සහ බලාපොරොත්තු රැසක් මැද නව පාලනයක් බිහි වුණා. එහිදි නව පොරොන්දු හා ප්‍රතිපත්ති මාලාවක් ජනතාව හමුවේ ඉදිරිපත් කළා. අද වන විට එම පොරොන්දු හා ප්‍රතිපත්ති සම්පූර්ණ බොරුවක් වෙලා. මේ වනවිට රටේ ජනතාව ජීවත් වන්නේ ඉතා අමාරුවෙන්. බඩු මිල ඉහළ ගිහින්. හාල්, පොල්, කිරිපිටි මිල ඉහළ ගොස් ලුණු ටිකවත් ජනතාවට සපයාගත නොහැකි ආණ්ඩුවක් රටේ තිබෙන්නේ. 33%කින් විදුලි බිල අඩු කරනවා කිවුවත් බලයට පැමිණි පසු මාස 6කට විදුලි බිල අඩු කරන්නෑ කිවුවත් ජනතාවගේ බලපෑම මත මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල 20%කින් අඩු කරන්න නියෝග කළා. ඉන්ධන මිල සම්බන්ධයෙන් ද පැවසුවේ මෙවැනිම කතාවක්. බදු, කොමිස්, පගා ගැසීම් නිසා දූෂණය හොරකම අල්ලස නිසා ඉන්ධන මිල වැඩි වුණා. ඒවා ඉවත් කිරීමෙන් ඉන්ධන මිල අඩු කර ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයාට ඉන්ධන සහනාධාරයක් පවා දෙනවා කිවුවත් අද ඒ කිසිවක් නැහැ. සෑම මොහොතකම මේ ආණ්ඩුව කළේ බොරුව හා රැවටිල්ලයි. පුර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවා යැයි පැවසුවත් මේ වනවිට ඉන්ධන, තාප සහ ගල් අඟුරු විදුලි බලාගාර මාෆියාවට රජය යටත් වෙලා. මේ රජය බලයට පැමිණි පසු පුනර්ජනනීය බලශක්තිය මෙරට බලශක්ති ක්ෂේත්‍රයෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත්කර බලශක්ති මාෆියාවට හසුවූ තුට්ටු දෙකේ ආණ්ඩුවක් බිහි වෙලා තිබෙනවා. මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික ආගමික අයිතියක් වන භූමදානය ගැටලුවේදී පෙනීසිටියේ සමගි ජන බලවේගය පමණයි.
ඒ වගේම අපි එදත් අදත් හෙටත් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ගාව රෑ ඩැනියෙල් දවල් මිගෙල් ගේම් නැහැ. සමගි ජන බලවේගය ද්විත්ව චරිත, ද්විත්ව ප්‍රතිරූප පෙන්වන්නේ නැහැ.
රක්ෂණ ශ්‍රියන්ත