මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට නීතිගරුක, මාධ්‍ය සදාචාරයන් ආරක්ෂා කරගත්, පරිපූර්ණ වෘත්තීය නිපුණත්වයකින් හෙබි ජනමාධ්‍යවේදීන් එක්කර ගැනීම පිණිස මෙන් ම, දැනට සේවාවන්හි නිරත මාධ්‍යවේදීන්ගේ දැනුම, කුසලතා වර්ධනය කරගනිමින් සිය වෘත්තීය නිපුණතා වර්ධන කර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අධ්‍යයන, සුභසාධන, මෙන් ම අනෙකුත් නිපුණත්වයන් ඉහළ දැමීම අරමුණු කරගත් වැඩසටහන් රාශියක් දීපව්‍යාප්තව සංවිධානය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින් සමග පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිණි. වර්තමානය වන විට වෘත්තීය මාධ්‍යවේදීන්ට බලපාන වෘත්තීය ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අරමුණින් සහ අභිමානවත් වෘත්තීය ජනමාධ්‍යවේදීන් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට දායාද කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම හමුව පැවැත්විණි.
ජනමාධ්‍යවේදීන් සදහා රක්ෂණාවරණයක් ඇති කිරීම, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ස්වයං නියාමනයන් ඇති කර ගැනීමට යන කරුණු පිළිබඳව මෙහි දී දීර්ඝ ව සාකච්ඡාවට ගැනුණු අතර මුදල් අමාත්‍යාංශය සහ ඊට අදාළ අනෙකුත් අංශ සමඟ ද සාකච්ඡා කර ඒ සදහා ක්‍රමවත් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බව අමාත්‍යවරයා පැවසී ය.
එමෙන්ම මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව වෘත්තීය දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබඳ වරලත් ආයතනයක් ස්ථාපිත කිරීම පිළිබදව මෙහි දී අවධානය යොමු වූ අතර ඊට අදාළ මුලික පියවරයන් මේවන විටත් ක්‍රියාත්මක කර අවසන් බව ද, ඊට අදාළ ඉදිරි පියවරයන් ගැනීමට කඩිනමින් ක්‍රියා කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී එම නියෝජිතයන් හමුවේ පැවසී ය.
පසුගිය රජයන් කිහිපයක් ම මෙවන් ආයතනයක් ස්ථාපිත කිරීමට උත්සහ ගෙන තිබුණ ද එය මේ දක්වා සාර්ථක නොවුනු බව ද මෙහි දී අනාවරණය විය.
මෙරට වෘත්තීය ජනමාධ්‍යවේදීන් සදහා ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාක්මක වූවත්, වර්තමානය වනවිට එහි යම් යම් සංශෝධන සිදුවිය යුතු බව පෙනී ගොස් ඇති බව මෙහි දී අනාවරණය වූ අතර, මාධ්‍ය ආයතන සදහා ප්‍රමිතිකරණ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා හමුවේ එම නියෝජිතයින් මෙහි දී මතු කර සිටියේ ය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අංග සම්පූණ අධ්‍යයන පාඨමාලාවන් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පවසා සිටින ලදී.
ජනමාධ්‍යවේදීන් සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව ලබා දෙන ජනමාධ්‍ය හැඳුනුම්පත ලබා දීමට පෙර නියාමනයක් සිදු කර එම හැදුනුම්පත් ලබා දෙන ලෙසට එම නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියේ ය. මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත්කර තිබු බවත් මින් ඉදිරියට එවන් වැරදි සිදු නොවීමට දැඩි තීරණයක් ගෙන තිබෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.
වර්තමානය වන විට වෘත්තීය මාධ්‍යවේදීන්ට සිය වෘත්තීයට අදාළ කාර්යයන් ඉටුකිරීමේ දී විවිධ ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බව තමා හොඳින්ම දන්වා බව අවධාරණය කළ අමාත්‍යවරයා වත්මන් රජය යටතේ ජනමාධ්‍යවේදීයාගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර දීමට උපරිමයෙන් දායකවන බවත්, අදාළ අනෙකුත් ගැටළුවලට කඩිනමින් විසදුම් ලබා දීමට පියවර ගන්නා බව ද මෙහි දී පවසා සිටියේ ය.
මෙහි දී, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයන් සිය ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් අමාත්‍යවරයාට භාරදීම ද සිදුවිය.
මෙම සාකච්ඡාමය අවස්ථාවට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක තරිඳු උඩුවරගෙදර, ප්‍රධාන ලේකම්, ධර්මසිරි ලංකාපේලි, උපලේකම් ඉන්දිරා ප්‍රියදර්ශනී, භාණ්ඩාගාරික රිස්වාන් සේගු යන මහත්ම මහත්මින් ඇතුළුව විධායක සභාව නියෝජනය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසක් ද එක් ව සිටියහ.