Monday, April 21, 2025
Home » පිල්ලෙයාන්ගේ රියැදුරා තොරතුරු වමාරයි
නැ‍ඟෙනහිර හිටපු උපකුලපති ඝාතනය

පිල්ලෙයාන්ගේ රියැදුරා තොරතුරු වමාරයි

by sachintha
April 21, 2025 12:42 am 0 comment

නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැර ගැනීමෙන් අනතුරුව ඝාතනය කර ඇති බවට තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එම පැහැරගැනීම සහ ඝාතනය සම්බන්ධයෙන් වූ වැදගත් තොරතුරු රැසක් පිල්ලෙයාන්ගේ රියැදුරුගෙන් අනාවරණය වෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

පිල්ලෙයාන්ගේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 17 වැනිදාය. මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට ලක්වන ඔහු 41 හැවිරිදි වියේ පසුවන වාලච්චේනේ පදිංචිකරුවකි.

මෙම අපරාධය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මඩකළපුවේදී අත්අඩංගුවට ගනු ලැබීය. රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින ඔහුගෙන් සහ රියැදුරාගෙන් කෙරන ප්‍රශ්න කිරීම් හමුවේ සහ විමර්ශන තොරතුරු ඔස්සේ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

පැහැරගැනීමට ලක්වූ මහාචාර්යවරයා රැගෙන ගොස් ඝාතනය කළ ස්ථාන පවා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති බව සඳහන්ය. එම තොරතුරු තවදුරටත් සනාථ කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඒ ගැන කරුණු වාර්තා කර ස්ථානීය පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

මෙම පැහැරගැනීමට සම්බන්ධ වී ඇත්තේ පිල්ලෙයාන් සහ කරුණා එල්.ටී.ටී.ඊ.යෙන් කැඩී වෙන්වීමෙන් පසු ගොඩනඟාගත් ටී.එම්.වී.පී. නමින් හැඳින්වූ කණ්ඩායමයි. එම කණ්ඩායම එල්.ටී.ටී.ඊ.යෙන් කැඩුණු කොටස්වල සාමාජිකයන්ගෙන් සකස්වී තිබී ඇත. එකල ඔවුන්ට නිදහසේ අවි ආයුධ පවා භාවිත කිරීමට අවස්ථාවක් තිබී ඇත. කොළඹ පැවති සමුළුවකට සහභාගිවී නැවත යමින් සිටියදී මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතාව පැහැර ගැනීමට ලක්වන්නේ 2006 වසරේ දෙසැම්බර් 15 වැනිදාය. මෙම පැහැරගැනීම ටී.එම්.වී.පී.යේ ක්‍රියාවක් බව එකල කියැවිණි.

මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් මුල් කාලයේදී නිසි විමර්ශනයක් සිදු නොවුණද නැවත එම විමර්ශනය නිසි පරිදි ආරම්භකරනු ලබන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුවය. මේ සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගනු ලබන්නේ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්වය. ඉන්පසු ඔහුගේ රියැදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අපරාධයට තවත් පිරිසක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඔවුන්වද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT