පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දූ දරුවන් ඇගයීම වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් සඳහා මුදල් ගෙවා ලබාගත් පොලිස් ආරක්ෂාව අදාළ උත්සවය සංවිධාන කළ උපකාරක පන්ති ගුරුවරියගේ පුද්ගලික ප්‍රතිරූපය නැංවීමට යොදා ගැනීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකින් විමර්ශනයක් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
යතුරුපැදි 04ක් සහ පොලිස් මෝටර් රථයක් මුදල් ගෙවා ලබා ගෙන ඇති අතර මෙම උත්සවයට අදාළ ගුරුවරිය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණ ඇත්තේ පොලිස් මෝටර් රථය පෙරටුකරගෙන පොලිස් යතුරුපැදි 04 ඇය ගමන් කළ ජීප් රථය දෙපස තබාගෙන ප්‍රභූවරියක් ලෙසිණි.
ඇය එසේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පැමිණෙන වීඩියෝ සමාජ මාධ්‍යවල හුවමාරුවෙමින් ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක්ද සමාජය තුළ ඇති විය.
එම සමාජ කතා බහ මුල්කරගෙන පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිල නිවේදනයක්ද මාධ්‍යට පෙරේදා (19) නිකුත් කරනු ලැබීය.
එම නිල නිවේදනයට අනුව මෙම වැඩසටහන සංවිධාන කළ අය පොලීසියට දැනුම්දී ඇත්තේ දරුවන් 8,000ක් සහ දෙමවුපියන් 35,000ක් පමණ මෙම උත්සවයට සහභාගිවීමට පැමිණෙන බැවින් ආරක්ෂාව සඳහා වැඩි නිලධාරීන් පිරිසක් යොදන ලෙසය. එම ඉල්ලීම කර ඇත්තේද මුදල් ගෙවීමේ පදනම මත පොලිස් නිලධාරීන් ලබාගැනීම සඳහාය.
පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කරන ආකාරයට පොලිස් නිලධාරීන් 20 දෙනකු සමඟ පොලිස් යතුරුපැදි 04ක් සහ පොලිස් මෝටර් රථයක් මෙම උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් ඉල්ලා තිබී ඇත. ඊට පොලිස් මූලස්ථානයෙන් අනුමැතිය ලැබී තිබේ.
එම අනුමැතිය බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පොලිස් මූලස්ථානයෙන් යොමු කිරීමෙන් පසු මුදල් ගෙවා ඔවුන් පොලිස් නිලධාරීන් 20 වෙනුවට ලබාගෙන ඇත්තේ යතුරු පැදි 04ත් පොලිස් මෝටර් රථයත් පමණි.
රුපියල් එක්ලක්ෂ තුස් දහසක් පමණ වූ මුදලක් ඒ වෙනුවෙන් ගෙවා ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
යතුරුපැදියක නිලධාරීන් දෙදෙනෙක් බැගින් නිලධාරීන් 08 දෙනෙක්ද, මෝටර් රථයේ නිලධාරීන් දෙදෙනෙක්ද වශයෙන් සමස්ත නිලධාරීන් 10 දෙනෙක් මුදල් ගෙවා ලබාගෙන ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
පොලීසියෙන් නිලධාරීන් 20 දෙනකු මුදල් ගෙවීමේ පදනම මත ඉල්ලා ඇතත් අවසානයේ දී අඩු ප්‍රමාණයක් ලබාගෙන පුද්ගලික ආරක්ෂකයන් පිරිසක් ඒ වෙනුවෙන් ලබාගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පෙර ගමන් රථ යොදාගෙන මෙම උත්සවයේ සංවිධායකවරිය ප්‍රභූවරියක් ලෙස ගමන් කිරීම සඳහා පොලීසියේ යතුරුපැදි හා මෝටර් රථය ඉල්ලා නැති බවත් එවන් ඉල්ලීමක් කළේ නම් එම වාහන ලබානොදෙන බවත් එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.
විශාල පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණෙන බැවින් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ඉල්ලා සිටි බැවින් මුදල් ලබාගෙන පොලිස් නිලධාරීන් ලබා දී ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.
ආරක්ෂාව සඳහා යැයි සඳහන් කරමින් ලබාගත් පොලිස් යතුරුපැදි හා මෝටර් රථය සිය පුද්ගලික ප්‍රතිරූපය සඳහා අදාළ ගුරුවරිය විසින් යොදා ගැනීම හේතුවෙන් පොලිසියේ කීර්තිනාමයට ද හානියක් සිදුවූ බව එම නිලධාරියා පැවසීය. ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් පැවැත්වෙන බව ද එම නිලධාරියා පැවසුවේය.
චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රූගත කිරීම් සඳහාත් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් හෝ වාණිජමය වශයෙන් සිදුවන කටයුතුවලදී පොලීසියෙන් ඉල්ලා සිටින අවස්ථාවන්වලදී මුදල් ගෙවීමේ පදනම මත පොලිස් වාහන හා ආරක්ෂාව ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. චිත්‍රපට හා ටෙලිනාට්‍ය සඳහා පොලිස් වාහන ලබාදීමේදී තිර පිටපත පවා පරීක්ෂාකර බලන බවත් බුද්ධි අංශ වාර්තා පවා ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
මුදල් ඉපයීමේ අරමුණින් සිදුකරනු ලබන සංගීත සංදර්ශනවලදී පවා මුදල් ගෙවීමේ පදනම මත පොලිස් ආරක්ෂාව ලබාදෙන බව ද ඔහු පැවසීය.
මෑතක් වන තුරු මෙසේ මුදල් ගෙවීමේ පදනමින් පොලිසියේ නිලධාරීන් සහ පොලිස් වාහන ලබාදුන්නේ අඩු පිරිවැයකට වුවත් ඉකුත් ජනවාරි මාසයේ සිට එම ගෙවීම් ඉහළ දමා ඇති බව ද පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ