Home » පළමු දින 3ට ලක්ෂ තුනක් පෝලිම සැතපුම් 5කට වැඩියි
සාධු නද මහනුවර රැව් දෙයි:

පළමු දින 3ට ලක්ෂ තුනක් පෝලිම සැතපුම් 5කට වැඩියි

by sachintha
April 21, 2025 1:33 am 0 comment

බැතිමතුන්ට පහසුකම් පුළුල් කරයි

දන්සල් 820ක්

පොලීසියෙන්-හමුදාවෙන් ආරක්ෂක පියවර

සිරි දළදා වන්දනාව ආරම්භ කළ පළමු දින තුනේදී දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීමට ලක්ෂ තුනකට ආසන්න සැදැහැවතුන් පිරිසක් එක්ව ඇතැයි මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා පවසයි. පළමු දින (18) සහ දෙවැනි දින (19) සහ තෙවැනි දින යෙදුණු ඊයේ (20) දිනයේදී මෙසේ තුන් ලක්ෂයක් පමණ වන ජනකායක් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ තිබේ.

පන්සාළිස් වසරක් පුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූ අසූ දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලද වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීම සඳහා පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සාධු නදින් මහනුවර නගරය මේ වනවිට ගිගුම් දෙමින් තිබේ.

අසිරිමත් දළදා වන්දනාව සඳහා අවස්ථාව ලැබෙන තෙක් සැදැහැවතුන්ට රැය දෙකක් පහන් කිරීමට සිදුවන තරමට පෝලිම් දික් වී තිබෙන අතර බාල, මහලු, තරුණ සැවොම බුදුගුණ ගයනා කරමින් ඉවසිලිවන්තව පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි.

සැදැහැවතුන්ට කිසිදු අපහසුවකින් තොරව දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට රජය සහ දළදා මාලිගාව පියවර ගෙන තිබේ. පෞද්ගලික අංශය ද ඒ සඳහා උපරිම දායකත්වය ලබා දීමට ඉදිරිපත්වීම විශේෂත්වයකි.

දළදා වන්දනාව ආරම්භ වීමට දින දෙකක් තිබියදීම සැදැහැවතුන් පෝලිම්වලට එකතුවීමත් එම පෝලිම් අපේක්ෂා කළ දුර ද ඉක්මවා යන තරමට දිගු වීමත් නිසා ඔවුන්ට පහසුකම් සැලසීමේදී සංවිධායක මණඩලය දැඩි දුෂ්කරතාවට පත් වූ අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා පෙරේදා (19) දින රජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ අනුව අමතරව ජංගම වැසිකිළි ස්ථාපිත කිරීමටත්, රැය පහන් කරන සැදැහැවතුන් වෙනුවෙන් ආහාරපාන ලබාදීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් තීරණය වී ඇත.

ජනපති ලේකම්වරයා ද ඉකුත් 18 දින රාත්‍රියේ මහනුවර නගරයේ සංචාරයක නිරත වෙමින් ජනතා අවශ්‍යතා සම්බන්ධයෙන් අවධානය යොමුකළ බවත් ඒ අනුව නගර සභාව මඟින් ද පියවර ගණනාවක් ගත් බවත් මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය කීවාය.

දළදා වන්දනාව සඳහා පැමිණෙන පිරිස අතර විදේශිය ජාතිකයන් ද විශාල පිරිසක් දක්නට ලැබේ. මෙයට අමතරව ආබාධ සහිත ජනතාවට දළදා වන්දනාව සඳහා විශේෂ පහසුකම් සැලසීමට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පියවර ගෙන තිබේ.

ඔවුන් විදුලි කාර් මගින් දළදා මාලිගාව ආසන්නයට රැගෙන ගොස් රෝද පුටුවලින් දළදා වහන්සේ වැඩ සිටින පිරිත් මණ්ඩපය කරා රැගෙන යාමට දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් යොදවා ඇත.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT