Monday, April 21, 2025
Home » ශබ්දයක් ඇසුණා: ලිස්සන ගහ මුල නහයෙන් ලේ දමමින් ළම‍ෙයක් වැටී සිටියා

ශබ්දයක් ඇසුණා: ලිස්සන ගහ මුල නහයෙන් ලේ දමමින් ළම‍ෙයක් වැටී සිටියා

by sachintha
April 21, 2025 1:06 am 0 comment

ලිස්සන ගහ හදද්දී මියගිය සිසුවාගේ මරණ පරීක්ෂණයේදි ඇසින් දුටුවෙක් සාක්කි දෙයි

‘‘කනත්තෙගොඩ පන්සල අසල පිට්ටනියේ පැවැත්වීමට නියමිතව තිබූ අවුරුදු උත්සවයේ කටයුතු කරන තැනට පුතා ගොස් තිබුණා. එතනදි ලිස්සන ගහේ කොඩිය සවිකිරීමට කෙනෙක් නැති නිසා එය සවිකිරීමට පුතා ඉදිරිපත්වී තිබෙනවා. කෙසේ හෝ ඔහු එම ලිස්සන ගහෙන් වැටී තිබෙනවා” යැයි ලිස්සන ගහක් සකස් කරමින් සිටියදී ඉන් වැටීමෙන් මියගිය දරුවකුගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මියගොස් සිටි දරුවාගේ පියා වන කැල්ලපත, දෙණියවත්තේ පදිංචි කාරියවසම් කනත්තගේ ගයාන් ප්‍රියන්ත (44) පැවසීය.

මෙසේ මියගොස් තිබුණේ දෙණියවත්ත, අමුගොඩ ලිපිනයේ පදිංචි කාරියවසම් කනත්තගේ චේතික නිවන්දන නමැති 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි.

හදිසි මරණ පරීක්ෂක එස්.එච්.ජගත්ලාල් මහතා විසින් ඇල්පිටිය මූලික රෝහලේදී මෙම හදිසි මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය ඉකුත්දා (17) සවස පවත්වනු ලැබීය. එහිදී පිටිගල පොලිසියේ පොලිස් සැරයන් (36341) එල්.එස්. අතුකෝරළ මහතාගේ මෙහෙයවීමෙන් සාක්ෂි දුන් ගයාන් ප්‍රියන්ත යන අය මෙසේ කීය.

‘‘අපට පුතාල එක්කෙනෙක් සහ දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුවට වයස අවුරුදු 21යි. එයා අ.පො.ස උසස් පෙළ විභායට සූදානම්වෙමින් සිටිනවා. පොඩි දුවට වයස අවුරුදු අටයි. මියගොස් සිටින මේ පුතාට අවුරුදු 16යි. ඔහු අමුගොඩ මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. සිද්ධිය වූ දා උදේ 9.30ට පමණ මේ පුතා මගේ අම්මත් සමඟ අමුගොඩ තරංගවත්තේ තිබුණ අවුරුදු උත්සවයක් බලන්න ගියා. දවල් 11.30ට පමණ අම්මා ආපසු ගෙදර ආවා. පුතා අවුරුදු උත්සවය බලමින් සිට තිබුණා. එම අවුරුදු උත්සවය ඉවරවෙමින් තිබියදී කනත්තෙගොඩ පන්සල අසල පිට්ටනියේ පසුවදා පැවැත්වීමට නියමිතව තිබූ අවුරුදු උත්සවයේ කටයුතු සංවිධානය කරන තැනට ගිහින් තිබුණා. එතැනදි ලිස්සන ගහේ කොඩිය සවිකිරීමට කෙනෙක් නැති නිසා එය සවිකිරීමට පුතා ඉදිරිපත්වී තිබෙනවා. මම රෝහලට ආවා. ටික වේලාවකට පසු දරුවා මියගොස් ඇති බව වෛද්‍යවරු කිවුවා.“

අමුගොඩ, කනත්තෙගොඩ පදිංචි කාරියවසම් සිත්තරගේ හසේන් තාරක (29) යන අය මෙහිදී සාක්ෂි දෙමින් මෙසේ කීය.

‘‘මා රැකියාව වශයෙන් රියැදුරු වෘත්තියේ යෙදී සිටිනවා. අපේ නිවස අසල තිබෙන පිට්ටනියේ 17 වෙනි දින අවුරුදු උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබුණා. එය සංවිධානය කර තිබුණේ ගමේ ළමයි වගයක්. ඒ අය 16 දා සවසත් එතන වැඩ කටයුතු කරමින් සිටියා. මම එතනට ගියේ එයාලට ලයිට් එකක් සවිකරල දෙන්නයි. ලිස්සන ගස සකස් කිරීමට කළුවර නිසයි මා බල්බ් එකක් සවිකරදීමට ගියේ. මා ෆ්ලෑෂ් ලයිට් එකක් සවිකළා. එය ඉවර වෙනකොටම ශබ්දයක් ඇසුණා. එවිට මා බලනවිට ළමයකු ලිස්සන ගහ මුල වැටී සිටියා. මා ගොස් බලනවිට දරුවාගේ නාහෙන් කටින් ලේ ගලමින් තිබුණා. ඔහු කතා කළේ නැහැ. එතන සිටි කිහිප දෙනෙක් එතනට වට වුණා. ඒ අසල තිබූ ත්‍රිරෝද රථයකින් එම දරුවා ඇල්පිටිය මූලික රෝහලට රැගෙන ආවා. මමත් මගේ යතුරුපැදියෙන් රෝහලට ආවා. ටික වේලාවකට පසු වෛද්‍යවරු කිවුවා ඒ දරුවා මියගොස් ඇති බව.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්.ඒ.අයි.අප්පුහාමි මහතා විසින් සිදුකළ අතර හිස සහ බෙල්ලට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව වෛද්‍යවරයා නිගමනය කර ඇත. ඒ අනුව ඉදිරිපත්වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාව අනුව මෙය ලිස්සන ගසෙන් ඇදවැටීමෙන් හිසට සහ බෙල්ලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් සිදුවූ හදිසි මරණයක් බව හදිසි මරණ පරීක්ෂක එස්.එච්.ජගත්ලාල් මහතා තීරණය කරනු ලැබීය.

ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී අජිත් ප්‍රසන්න මහතාගේ උපදෙස් පරිදි පිටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යොහාන් මධුශංක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකළහ.

ඇල්පිටිය සමූහ – චන්ද්‍රසිරි ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT