ඉඳුරුව ප්‍රදේශයේ පැවති අලුත් අවුරුදු උත්සවයකදී සංගීත පුටු තරගයේ තරගකාරියක ලෙස සහභාගි වූ 75 හැවිරිදි කාන්තාවක් තරගය නිමාවීමත් සමඟ ක්‍රීඩා පිටියේදීම මියගොස් ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි.
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉඳුරුව, ගල්බඩ ප්‍රජාශාලා පිටියේ ඉකුත් 18 දා සවස පැවති අවුරුදු උත්සවයකදී මෙසේ මියගොස් ඇත්තේ ගල්බඩ පදිංචිව සිටි ඩී. ඩී. ඩැනී මාග්‍රට් හේමලතා නමැති අවිවාහක කාන්තාවකි. අවුරුදු උත්සවයේ සංගීත පුටු තරගයට සහභාගිවීමෙන් අනතුරුව පැවති පොල් අතු විවීමේ තරගයේ විනිශ්චය සඳහා යාමට ඇය සූදානම් වී ඇති බවත් ඒ අවස්ථාවේදී ඇය එකවරම ඇදවැටී මියගොස් ඇති බවත් පොලීසිය කියයි.
මියගිය කාන්තාව සමඟ ඇයගේ මව ද ජීවත්ව සිටි අතර ආදරයෙන් මවත් රැකබලා ගනිමින් ජීවත් වූ අවිවාහක කාන්තාවගේ අභාවය නිසා අවුරුදු 101 වයසැති ඇගේ වයෝවෘද්ධ මව අද අන්තඅසරණ වී ඇතැයි ගම්වාසීහු පවසති.
මේ පිළිබඳව ඉඳුරුව රජයේ රෝහලේ පැවැත්වූ හදිසි මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ සාක්ෂි අනුව රුධිරසංසරණ පද්ධතියේ ඇති වූ සංකූලතාව නිසා හෘදයේ ඇතිවූ හදිසි අකර්මන්‍යතාව හේතුවෙන් මෙම මරණය සිදු වී ඇතැයි බෙන්තොට හදිසි මරණ පරීක්ෂක කේ.වී.ඩී. උපාලි කුමාරසිංහ මහතා නිගමනය කළේය.
කොස්ගොඩ පොලීසියේ පො.කො.ප්‍රදීප් ගුණතිලක (100397) මහතා සාක්ෂි මෙහෙයවීය.
බෙන්තොට සමූහ සිරිසේන මද්දෙවිතාන