Monday, April 21, 2025
Home » “දළදා වහන්සේ ඇස් දෙකෙන් දැකගන්න හැකිවුණා” දළදා වන්දනාවට ආ බැතිමත්හු කියති

“දළදා වහන්සේ ඇස් දෙකෙන් දැකගන්න හැකිවුණා” දළදා වන්දනාවට ආ බැතිමත්හු කියති

by sachintha
April 21, 2025 1:52 am 0 comment

උතුම් දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමට මහනුවර නගරයට දිවයිනේ සතර දෙසින් පැමිණෙන ජනතාව ඒ වෙනුවෙන් අසීමිත කැප කිරීමක් ද කරන්නේය. දිවා රෑ නොබලා ඔවුන් නිදි වර්ජිතව රැය පහන් කරන්නේ වෙහෙස මහන්සිය මොහොතකට අමතක කරමිනි. මහා කැප කිරීමකින් පසු ජීවමාන බුදුන් දුටුවා හා සමාන හැඟීමකින් දළදා මැඳුරෙන් පිටතට පැමිණෙන ජනතාව තම හැඟීම් වචනවලට පෙරළුවේ මෙසේය.

පැලවත්ත ලියනගේ මාලනී හැත්තෑ හතර හැවිරිදිය. ආබාධිත තත්ත්වයක් තිබිය දී ඇය වරකාපොළ සිට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණ තිබුණේ තනිවමය. ඇය සිය හැඟීම් දැක්වුයේ මෙසේය.

“දළදා වහන්සේ මේ ඇස් දෙකෙන් දැක ගන්න මම පෙරුම් පිරුවා. අද ඒ වාසනාව මට ලැබුණා. ආබාධ අයට දළදා මාලිගාවෙන් සලසා තිබෙන පහසුකම් ඉතා හොඳයි. නැත්නම් කවදාවත් අපිට පෝලිමක ඉඳලා දළදා වඳින්න ලැබෙන්නේ නැහැ. මම 2004 ඉඳලා පිළිකාවකින් පීඩා විඳිනවා. ආතරයිටිස් රෝගය නිසා ඇවිදින්න අමාරුයි. ඒත් මැරෙන්න කලින් දළදා වහන්සේ දෑසින් දකින්න ඕනෑ කියලා මම හීන දැක්කා. රෑ 2.00ට නැඟිටලා නුවර එන්න පිටත් වුණේ. දැන් මම මරුණත් කමක් නැහැ. අවුරුදු 16කින් දළදා වහන්සේ දැක වැඳ පුදා ගන්න ජනාධිපතිතුමා, මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළා. එතුමා මේ ඉල්ලීම නොකරන්නට අපිට දළදා වහන්සේ දැක ගන්න ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාව අපිට ලබා දුන්න හැමෝටම පින් සිද්ධ වෙනවා.”

මහනුවර තෙල්දෙණියේ පදිංචි මාලා නන්දනී මහත්මිය දළදා වහන්සේ දෑසින් දැකීමෙන් ලද හැඟීම ඇය වචනවලට පෙරළුවේ මෙසේය.

“මම මීට කලින් 2009 දී දළදා වහන්සේ වැන්දා. මම 18 වැනිදා පාන්දර 4.00ට විතර තමයි පෝලිමට ආවේ. බුදු හාමුදුරුවෝ දැක්කා වගේ හැඟීමක් මට ඇති වුණා. මම ජීවිතයේ මහා පින් කන්දරාවක් කළ කෙනෙක් නේද කියන හැඟීම මට තිබෙනවා. සංවිධාන කටයුතු ඉතාම හොඳ මට්ටමක තිබුණා.”

ජී.සෙනරත්ආරච්චි මහතා තංගල්ලේ සිට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණ තිබුණේ බිරිය හා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟය. ඔහු මෙසේ පැවසුවේය.

“බෙලිඅත්තේ දුම්රිය ස්ථානයෙන් 15 වැනිදා 12.50 කෝච්චියට නැග්ගා. කොළඹට එනකොට 6.00යි. නුවරට එනකොට 10.00යි. ඊට පස්සේ 16 වැනිදා ඩී.එස්. සේනානායක වීදියේ පෝලිමට එකතු වුණා. 18 වැනිදා මහමළුව කිට්ටුවට එනකොට වේලාව ඉවර වුණා. ඊට පස්සේ අද තමයි වැන්දේ. මීට කලින් දළදා වහන්සේ සියැසින් දැකලා නැහැ. ජීවමාන බුදුන් දැක්කා වගේ තමයි. පළාත් මට්ටමින් ජනතාවට දළදා වඳින්න අවස්ථාව දෙනවා නම් හොඳයි කියලා හිතෙනවා.”

නන්දලාල් හේවගේ මහතා මෙසේ කීවේය.

“අවුරුදු 16කට කලින් ආවා. ඒත් බලන්න බැරි වුණා. මේ පාරනම් දළදා වහන්සේ ඇස් දෙකෙන් දකින්න ලැබුණා. බැතිමතුන් කියන වචනය පාවිච්චි කරන එක වැරදියි. කතරගම දෙවියන් පුදන කොට බැතිමතුන් කියන්න පුළුවන්. එතන තිබෙන භක්තිය. බුදුන්වහන්සේට අපේ සිත්වල තිබෙන්නේ ශ්‍රද්ධාවක්. මේ වැරදි වචන භාවිතය වෙනස් කරන්න ඕනෑ.”

වයස අවුරුදු අසූවක් වූ රඹුක්කන ආරච්චිගේ හින්නිහාමි මාතාව. ඇය මෙසේ කීවාය.

“බුදුන් දෑසින් දැක්කා. පහසුකම් සියල්ල හොඳයි. සනීපාරක්ෂක සේවා මේ තරම් හොඳ තත්ත්වයකින් තියෙයි කියලා හිතුවේ නැහැ. මීළඟ වතාවේ දළදා වහන්සේ වැඳපුදා ගන්න අපි ජීවතුන් අතර ඉඳියිද දන්නේ නැහැ. අසනීප තිබුණත් කිසිම අමාරුවක් ඇඟට දැනුනේ නැහැ. ඉතිපිසෝ ගාථාව කියමින් තමයි මම මාලිගාව ඇතුළට ගියේ.”

නිකවැරටියේ සිට පැමිණි ලලිතා කුමාරි, දළදා වන්දනා කිරීමේ අරමුණින් පැය 30ක පමණ කාලයක් පෝලීමේ රැඳී සිටි අයෙකි. ඇය මෙසේ විස්තර කළාය.

“මෙච්චර කාලයක් පාලකයින් සාමාන්‍ය ජනතාවට දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒ සඳහා සුදුසු වාතාවරණයක් රටේ ඇති නොවුණෙත් ඒ අයගේ අවාසනාවටයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දළදා වන්දනාව සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළා. එතුමා හැමදාම ජනතාව ගැන හිතනවා.”

එම්.එම්. ජයරත්න මහතා දළදා වඳින්න පැමිණ තිබුණේ බිරිය හා අක්කා සමඟය. ඔහු මෙසේ පැවසුවේය.

“මට අවුරුදු 67යි. අපි 18 වැනිදා තමයි පෝලිමට එකතු වුණේ. රටේ කලබල තිබුණ නිසා 2009 දී එන්න බැරි වුණා. කවදාහරි දවසක මැරෙන්න කලින් දළදා වහන්සේ මේ ඇස් දෙකෙන් බලන්න ඕනෑ කියලා මගේ හිතේ අධිෂ්ඨානයක් තිබුණා. මේ පාර දළදා වන්දනාවට අවස්ථාවක් ලැබෙනවා කිවුවාම ඒ දවස එනකල් මම ඇඟිලි ගනිමින් හිටියේ. දැන් මැරුණත් කමක් නැහැ.”

අසේල කුරුළුවංශ

ඡායාරූප

අසේල කුරුළුවංශ හා රුවන් මීගම්මන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT