හිරණ පාලමින් බොල්ගොඩ ගඟට පැන අතුරුදන්වූ පුද්ගලයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව හිරණ පොලීසිය කියයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ පාණදුර, තන්ත්‍රීමුල්ල, කෝන්ගහකොටුව පදිංචිව සිටි ඩී. ජී. ජනක සේනාරත්න නමැති 49 හැවිරිදි තිදරු පියෙකි.
එම පුද්ගලයා හැඳ සිටි ටී ෂර්ට් එක සහ ඔහුගේ යතුරුපැදිය පාණදුර හිරණ පාලම අසල තිබී පෙරේදා (19) රාත්‍රී සොයා ගත් බවත්, එම ටී ෂර්ට් එක තම පියාගේ බවට පුතුන් දෙදෙනා හඳුනා ගත් බවත් හිරණ පොලීසිය සඳහන් කරයි.
අතුරුදන් වූ පුද්ගලයා පෙරේදා (19) පෙරවරුවේ සිය බිරිය සමඟ ආරවුලක් ඇති කරගෙන අමනාපව නිවෙසින් පිටව ඇත්තේ බොල්ගොඩ ගඟට පැන සියදිවි නසා ගන්නා බවට පවසා බව වැඩිමහල් පුතු පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය කියයි.
සිය මව පියා නිවෙසින් පැමිණීම වැළැක්වීමට උත්සාහ දරා ඇතත් පියා නිවෙසින් පිටවී පැමිණ දහවල් 12ට පමණ සිය සහෝදරියට ද දුරකතන ඇමතුමක් ගෙන ඇතැයි ඇය නැවත පියාට ඇමතුමක් ලබා ගනිද්දී දුරකතනය විසන්ධි වී තිබී ඇතැයි ද පුතු කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය සඳහන් කරයි.
තම පියාගේ යතුරුපැදිය හිරණ පාලම අසල තිබෙන බවත්, ටී ෂර්ටය පාලමට පහළින් කොන්ක්‍රීට් බැම්ම මත තිබෙන බවත් පවසමින් අතුරුදන් පුද්ගලයාගේ වැඩිමහල් පුතු කරන ලද පැමිණිල්ලට අනුව පෙරේදා (19) රාත්‍රියේම විමර්ශන ආරම්භ කිරීමට පොලීසිය කටයුතු කළේය.
හිරණ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම සමූහ – බිමල් ජයසිංහ සහ පාණදුර සංචාරක
සුමිත් ප්‍රේමතිලක