වියට්නාමයේ සංඝ සභාව විසින් තහනමට ලක් කර සිටින එරට ජනප්‍රිය හිමිනමක වන “තික් මින් තියූ” නමැති හිමිනම ඇතුළු කණ්ඩායමක් මෙරටට පැමිණ අනුරාධපුරට පා ගමනින් යෑමට ගත් උත්සාහයක් පොලීසියේ මැදිහත්වීමෙන් නාරම්මල ප්‍රදේශයේදී ඉකුත්දා (18) නවත්වනු ලැබීය.
වියට්නාමයේ ඉමහත් ආන්දෝලනයකට ලක්ව සිටන තික් මින් තියූ හිමියන් සමඟ ඔහුගේ අනුගාමික හිමිවරුන් බව පැවසෙන 34දෙනකු සහ ගිහි පුද්ගලයන් 10දෙනකු ඇතුළු 45 දෙනෙක් මේ කණ්ඩායමට ඇතුළත්ව සිටි බව පැවසේ.
පසුගිය 10 වැනි දින සංචාරක වීසා මත මොවුන් වියට්නාමයේ සිට මෙරටට පැමිණ ඇති අතර, පසුව කටුනායක සිටම කුරුණෑගල හරහා අනුරාධපුරට යෑමට පා ගමනක් ආරම්භ කර ඇති බව වාර්තා විය.
තික් මින් තියූ හිමිනම වියට්නාම් රජය විසින් පිළිගන්නා එරට එකම සංඝ සභාවෙන් ප්‍රතික්ෂේප කරන ලද බුදු දහමට පටහැණි අදහස් ප්‍රකාශ කරන ව්‍යාජ භික්ෂුවක් ලෙසින් හඳුන්වා දී ඇති හිමිනමකි. එබැවින් මොවුන් වියට්නාමයේ තහනමට ලක් කරන ලද බෞද්ධ විරෝධී නිකායකට අයත් පිරිසක් වන බැවින් ඔවුන්ගේ මෙරට සංචාරයට එරෙහිව කටයුතු කරන ලෙසට වියට්නාම් සංඝ සභාව විසින් මෙරට මහානායක හිමිවරුන් වෙත සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙත දන්වා එවා ඇත.
භික්ෂූන් වහන්සේ ලෙස පෙනී හිඳිමින් බෞද්ධ දහමට පටහැණි අදහස් ප්‍රකාශ කරන මේ පිරිස එම අදහස් මෙරට ද ප්‍රචලිත කිරීමේ අරමුණින් පැමිණ ඇති බවට මහානායක හිමිවරුන් වැඩිදුරටත් දැනුම්වත් කර ඇත. එසේම මොවුන් සංචාරය මුවාවෙන් තමන්ට බෞද්ධ රටවලින් විශාල පිළිගැනීමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් මුදල් ඉපැයීමේ ජාවාරමක නිරත වන බව ද එමඟින් පෙන්වා දී ඇත.
ඒ අනුව තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතුවිහාර පාර්ශ්වයේ මහානායක හිමියන් විසින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත මේ බව දැනුම්දී බෞද්ධ ප්‍රතිරූපයට හානි කරමින් කටයුතු කරන බවට චෝදනා එල්ල වන මේ කණ්ඩායමේ පා ගමන ඇතුළු ආගමික ප්‍රචාර කටයුතු වැළැක්වීමට වහා පියවර ගන්නැයි ඉල්ලා තිබේ.
එම දැනුම්දීමට අනුව රජයේ බලධාරීන් ක්‍රියාත්මක වන විට ද මෙම කණ්ඩායම කටුනායක සිට මිනුවන්ගොඩ හරහා නාරම්මල පොලිස් බලප්‍රදේශයටම පසුගිය සිකුරාදා පැමිණ සිට ඇත. ඔවුන් ඒ වනවිට ද නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් ලී මෝලක් සහිත ස්ථානයක නැවතී විවේක ගනිමින් සිටි බව පැවසේ.
මේ කණ්ඩායමට මෙරට සංචාරයට අවශ්‍ය සහාය සහ මාර්ගෝපදේශ දී ඇත්තේ මීරිගම, මුල්ගම්පල ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක සහ ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමේ භාෂා පරිවර්තකයකු වශයෙන් සේවය කරන අයකු බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න