Home » ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ඇතුළු පිරිසක් ඝාතන තැත ව්‍යර්ථ වෙයි

ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ඇතුළු පිරිසක් ඝාතන තැත ව්‍යර්ථ වෙයි

-කුලී ඝාතකයන් දෙදෙනෙක් ඇතුළු 6ක් ටී 56 ගිනි අවි 2ක් සමඟ අත්අඩංගුවට

by sachintha
April 21, 2025 1:28 am 0 comment

ගම්පහ නගර සභා පිටියේදී පෙරේදා (19) පැවති අලුත් අවුරුදු උත්සවයේදී ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සූදානමින් සිටි පාතාලයේ කුලී ඝාතකයන් දෙදෙනෙක් ඇතුළු 06 දෙනෙක්, ටී 56 අවි දෙකක් සමඟ අත්අඩංගුවට ගැනීමත් සමඟ එම ඝාතන තැන ව්‍යර්ථ වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අලුත් අවුරුදු උත්සවයේ සමාරම්භක අවස්ථාවේදී හෝ රාත්‍රී කාලයේදී සංගීත ප්‍රසංගය සමඟ පැවැත්වෙන තෑගි බෙදා දීමේ අවස්ථාවේදී හෝ මේ ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව පෙරේදා (19) අලුයම් කාලයේදී ගම්පහ වතුමුල්ලේ නිවෙසක් පරීක්ෂා කිරීමේදී එහි රැඳී සිටි පිරිසක් ගිනි අවි සමඟ අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ ඝාතන සැලසුම ගැන තොරතුරු හෙළිවී තිබේ.

එහි රැඳී සිටි සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔස්මන් ගුණසේකර ඝාතනයට සූදානම් කර තිබූ ටී 56 අවි 02ක් , පතරොම් 118ක්, ටී 56 පතරොම් බහාලන කොපු 03ක් සහ ප්‍රහාරයට ගමන් කිරීමට සූදානම් කර තිබූ වෑන් රථයක්, මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ද විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිවු දෙනෙක්ම හමුදා සේවයේ සිට ඉවත්ව සිටින අය බවට තොරතුරු ද අනාවරණය වී තිබේ. ඒ අය අතර කමාන්ඩෝ සහ විශේෂ බළකායේ සෙබළුන් දෙදෙනෙක් ද සිටින බව සඳහන්ය.

මේ ඝාතන සැලසුම ආරම්භ කර ඇත්තේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ ගණේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම මෙහෙයවූ පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් විසින්ම බව විමර්ශනවලින් හෙළිවී ඇත. ඩුබායි සහ යුරෝපයේ රටවල් කිහිපයක රැඳී සිටින මේ කල්ලියේ ප්‍රබලයන් විසින් සිය ගෝලයන් යොදාගෙන මේ ඝාතන සැලසුම ආරම්භ කර ඇත්තේ ගම්පහ නගරය ආශ්‍රිතව මත්කුඩු අලෙවියටත්, කප්පම් ගැනීම්වලටත් ඔස්මන් ගුණසේකර නමැති ව්‍යාපාරිකයා විසින් දිගින් දිගටම එරෙහිවීම නිසා බව සඳහන්ය. මීට පෙර අවස්ථාවලදී ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීමට උත්සාහ දැරුවේ ගණේමුල්ලේ සංජීව විසිනි.

ගණේමුල්ලේ සංජීව ඝාතනය මෙහෙයවූ විදේශගතව සිටින පාතාලයේ අපරාධකරුවන් විසින් Òගම්පහ අවුරුදු උත්සවයට නාකි රැලක් එනවා. උන් ඔක්කොමට තියල දාපන්Ó යනුවෙන් වෙඩික්කරුවන්ට දුරකතන ඇමතුමක් දෙමින් සඳහන් කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත. එහිදී ඉලක්කය පැහැදිලිවම ඔවුන්ට දී නැති බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. ඔස්මන් ගුණසේකර ඉලක්කය වී ඇති බව හඳුනාගෙන ඇත්තේ ඔහු මේ අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙක් ලෙස සහභාගිවීමට නියමිතව සිට ඇති බැවින් සහ ඔහු මේ වන විට වයස්ගත පුද්ගලයෙක් වන බැවිනි.

ගම්පහ අලුත් අවුරුදු උත්සවයේදී ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීමට සූදානමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 26ත් අතර පසුවන්නන්ය. ඔවුන් ගම්පහ, උඩුගම්පළ, අනුක්කනේ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළි වූ තොරතුරු මත වෙනත් අපරාධයකට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් උඩුගම්පළදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත. ඔවුන් දෙදෙනා අවුරුදු 22 හා 57 යන වයස්වල පසුවන උඩුගම්පොළ පදිංචිකරුවන්ය.

මේ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී තවත් සැකකරුවෙක් ජංගම දුරකතන 04ක් සමඟ කුරුණෑගල දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත. කුරුණෑගල විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති එම සැකකරු අවුරුදු 25ක් වයසැති හෙට්ටිපොළ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් මේ සැකකරුවන් සියලු දෙනා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ. රැඳවුම් නියෝග මත ඔවුන් රඳවාගෙන විමර්ශන පවත්වන බව පොලීසිය සඳහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT