ආණමඩුව, වඩත්ත, හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදී ඇතිවූ ආරවුලක් දුරදිගගොස් පොලු මුගුරුවලින් පහර දී තරුණයකු ඝාතනය කළැයි කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ තරුණයාගේ මවගේ බාල සොහොයුරු (මාමා), ප්‍රදේශයේ නීති විරෝධී කසිප්පු ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවෙක් සහ ඔහුගේ බිරියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව, වඩත්ත, හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අවිවාහකයකු වන මහමුදන්නායක මුදියන්සේලාගේ සජීත් තිවංක නොහොත් (ජයසුන්දර ) නමැත්තා බව වාර්තා වේ.
අත්අඩංගුවට ගෙන ඇති නීති විරෝධී කසිප්පු ජාවාරම්කරුගේ වෙළෙඳසල ඉදිරිපිට පවත්වාගෙන ගිය කැට පොළක ඇතිවු ආරවුලකින් පසු මාමා එල්ල කළ මුගුරු පහරින් එම ස්ථානයේදීම ඥාති පුතා මරණයට පත්ව ඇති බව මූලික විමර්ශනවලදී තහවුරුවී ඇති බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් තිදෙනා ආණමඩුව වැඩබලන මහේස්ත්‍රාත් වෙත පෙරේදා (19) ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 28 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
ආණමඩුව සහකාර පොලිස් අධිකාරි සමන් ප්‍රියන්ත ගමගේ මහතාගේ උපදෙස් මත, ආණමඩුව වැඩබලන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් ඒකනායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන පවත්වති.
පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ