Home » පාස්කු දින ප්‍රහාරයේ වගකීම රාජපක්ෂවරුන් වෙත පටවන්න හදනවා

පාස්කු දින ප්‍රහාරයේ වගකීම රාජපක්ෂවරුන් වෙත පටවන්න හදනවා

- පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ

by sachintha
April 21, 2025 1:12 am 0 comment

පාස්කු ප්‍රහාරයේ වගකීම රාජපක්ෂවරුන් වෙත පැටවීම වත්මන් ආණ්ඩුවේ අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අනුරාධපුර මහ නගර සභා බලප්‍රදේශයේ පාක්ෂිකයන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (19) පැවති ජන හමුවකදී මේ බව පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.

“නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටිනවා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා ගැනීම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවට අසීරු කටයුත්තක් නොවෙයි. වත්මන් ආණ්ඩුවේ ඇතැම් ලේකම්වරුන් ලෙස කටයුතු කරන පුද්ගලයන් පාස්කු ප්‍රහාරය සිදු වනවිටත් වගකිවයුතු ආරක්ෂක ප්‍රධානීන් ලෙස කටයුතු කළා.

බොරුව වසා ගැනීමට පිල්ලෙයාන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සිදු කළා මෙන් වත්මන් ආණ්ඩුව විසින් විවිධ බොරු පවසමින් සිටිනවා. ජාතික ආරක්ෂාව ගැන නොසිතා රටට අහිතකර බලපෑම් සිදු කරන ඉන්දියාවේ ගිවිසුම් සමඟ එකඟ වූවා ද යන්න සැකයක් පවතිනවා.

වත්මන් ආණ්ඩුව සංස්කෘතියෙන් ඈත්වන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. එසේ නොවන බවට පෙන්වීමට ආණ්ඩු පක්ෂයේ නායකයන් දරන උත්සාහයන් තුළදී ද සිදුවන්නේ ආගම දහමින් සහ සංස්කෘතියෙන් ඈත්වීමයි.

ආගම දහම ඇතැම් අයට දේශපාලනය වුව ද රාජපක්ෂවරුන් හැමදාමත් වෙහෙර විහාරස්ථාන වැඳපුදාගෙන නායක හිමිවරුන්ට ගෞරව කරනු ලැබුවා.

ජාත්‍යන්තර වැඩපිළිවෙළක් සමඟ ජාත්‍යන්තරයට සම්බන්ධවූ බෞද්ධ කේන්ද්‍රස්ථාන නගරයක් ලෙස අනුරාධපුර නගරය පරිවර්තනය විය යුතුයි” යැයි ද කීවේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නගරාධිපති එච්.පි. සෝමදාස මහත්වරු ඇතුළු පළාත් පාලන අපේක්ෂකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT