Monday, April 21, 2025
Home » ගමේ සංවර්ධනයට ලැබෙන මුදල් සාක්කුවලට වැටීම නැවැත්විය යුතුයි

ගමේ සංවර්ධනයට ලැබෙන මුදල් සාක්කුවලට වැටීම නැවැත්විය යුතුයි

-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

by sachintha
April 21, 2025 1:01 am 0 comment

ගමේ සංවර්ධනයට වෙන්වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බවත්, එම මුදල් මඟදි එක් එක් පුද්ගලයන්ගේ සාක්කුවලට වැටීම හේතුවෙන් ගමේ සංවර්ධනය නිසි අයුරින් සිදු නොවූ බවත් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

මුලතිව් දිස්ත්‍රික්කයේ, මාන්තෙයි නැඟෙනහිර ප්‍රාදේශීය සභාවේ නට්ටන්කණ්ඩාල් පොදු වෙ‍ෙළඳ සංකීර්ණය අසල සහ මල්ලාවි ප්‍රදේශයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල පරිශ්‍රයේ පෙරේදා (19) පැවැති ජන හමුවලට සහභාගී වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

අගමැතිවරිය වැඩිදුරටත් මෙසේ ද පැවැසුවාය.

“අපේ රටේ අවුරුදු 76ක් තිස්සේ පැවති සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කරමින් ඔබ අපට 2024 වර්ෂයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දුන්නේ අප කෙරෙහි පවතින විශ්වාසය නිසා බව අපි හොඳින්ම දන්නවා. ඒ විශ්වාසය අපි රකිනවා කියලත් මේ මොහොතේ මම ඔබට කියන්න කැමැතියි.

ඔබට ආසන්නතම රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව හා එම රෝහලට ශල්‍යාගාරයක් නොමැති බවත් එමෙන්ම ශල්‍යාගාරයක් පවතින රෝහලකට කිලෝමීටර් 50ක් පමණ දුරක් ගමන් කිරීමට සිදු වී ඇති බව මට මෙහි පැමිණි මොහොතේ දැනගන්න ලැබුණා.

ඒ වගේම ප්‍රදේශයට අයත් පාසලේ විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න, ගුරුවරු නොමැති වීම නිසා විද්‍යා විෂය ධාරාව හැදෑරීමට දරුවන්ට කිලෝමීටර් 50ක් දුර පවතින පාසලට යාමට සිදු වෙලා තියෙනවා කියලත් මට මට අහන්න ලැබුණා.

අපි දන්නවා ප්‍රදේශයේ ජනතාව පොදු ප්‍රවාහනය, දරුවන්ට අධ්‍යාපන පහසුකම් සහ විදුලිය වැනි පහසුකම් නිසි ලෙස නොමැතිකම නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වයන් වෙනස් කරන්න අවශ්‍ය නිසා තමයි ඔබ අපිව තෝරගත්තේ.

සියලුම දරුවන්ට තමන්ගේ දක්ෂතාව, කුසලතාව අනුව තමන්ගේ වෘත්තීය ජීවිතය තෝරගෙන දියුණු වෙලා ඉදිරියට යන්න අවස්ථාව හදන්න ඕනෑ. ඒ කාර්යය අපේ රජය කෙසේ හෝ සිදු කරන බව මම ඔබට පොරොන්දු වෙනවා.

කලින් තිබූ දේශපාලන ක්‍රමය අනුව ගමේ සංවර්ධනයට වෙන්වූ මුදල් ගමට ලැබෙන විට 75%ක්ම එක් එක් පුද්ගලයන්ගේ සාක්කුවලට ගිහිල්ල තමා ඉතුරු කොටස ගමට ආවේ. ඒ ක්‍රමය නිසා තමා මේ වන තෙක් මේ ප්‍රදේශ සංවර්ධනය වීම සිදු වෙලා නැත්තේÓ යැයි පැවසුවාය. 2025 වර්ෂයේ අය – වැයෙන් ග්‍රාමීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා විශාල මුදලක් වැය කොට ඇති හෙයින් එම මුදල් වංචාවෙන් දූෂණයෙන් තොරව නිසි අයුරින් සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවිය හැකි කණ්ඩායමක් ප්‍රාදේශීය නායකත්වය සඳහා තෝරාගත යුතු බවත්, ජාතික ජන බලවේගයේ තම කණ්ඩායම ඒ සඳහා සුදුසුම කණ්ඩායම බව විශ්වාසයෙන් කිව හැකියි.

මේ ප්‍රදේශවල යටිතල පහසුකම් විතරක් නොවෙයි මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වුණා. සමහර අයට මොකද වුණේ කියලා තවමත් පිළිතුරු ලැබිලා නෑ.

මේ ප්‍රදේශයේ වගේම රටේ නොයෙක් තැන්වල අම්මලා දහස් ගණනක්, බිරින්දෑවරු දහස් ගණනක් තමන්ගේ දරුවාට, සැමියාට, පවුලේ සාමාජිකයන්ට වුණේ මොකක් ද කියලා උත්තර හොයමින් අවුරුදු ගණනාවක් වැළපෙනවා. ඒ පිළිතුරු සොයන්න අපි මැදිහත් වෙන බවටත්, නැවත එවැනි දේ සිදු වීම වළක්වන බවටත් අපි පොරොන්දු වෙනවා.

සංස්කෘතික විවිධත්වයකින් විචිත්‍රවූ රටක වැඩ කරන ජනතාව වෙනුවෙන් කැප වෙන ජාතිවාදී නොවන, සැමට සාධාරණව හා සමානාත්මතාවෙන් සැලකිය හැකි එකම වේදිකාව, එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය බවත්, 2024 වසරේදි මෙරට ජනතාව ආරම්භ කරන ලද ඓතිහාසික පරිවර්තනීය ගමන 2025 වසරේ එළඹෙන මැතිවරණයේදි තවත් පියවරක් තබමින් අනාගතය වෙනුවෙන් පිරිසුදු ප්‍රාදේශීය සභාවක් හා නගර සභාවක් ගොඩනැඟීමට එකතු වෙමු.

 

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT